ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ශ්‍රී ලංකාද්වීපයේ මහා ස්ථූපයේ තැන්පත් වෙනවා කියා බුදුරජාණන් වහන්සේ සක් දෙවිදුන්ට වදාළා. සක් දෙවිදුන්ගේ ඒ මස මහා කස්සප මහරහතන් වහන්සේ ට අසන්නට ලැබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත්ත රජතුමාට කිව්වා, එක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රාමග්‍රාම ස්ථූපයේ සදන්නට ඕන ශ්‍රී ලංකාද්වීපය උදෙසා.
01. අසා සක් දෙවිදුගේ මේ බස - මහ කස්සප හිමි එදා
අජාසත් රජු හට ද දුන්නේ - ද්‍රෝණ සතකින් මුනිදු දා
02. ලබා එක් ද්‍රෝණයක් රම්ගම - සදා දාගැබ තුළ රදා
බෙදා ගන්නට නොහැකි විය එය - එදා සුරැකුනි මුනිදු දා
03. දහම්සෝ නරපතිදු දඹදිව - සහන් සිත් ලැබ සාසනේ
දහස් ගණනින් තනා දාගැබ් - පහන් සිත් මතුකළ තැනේ
04. සතක් වූ ද්‍රෝණයක් ධාතුන් - රැගෙන තැන්පත් කරමිනේ
රාගම ඇති ධාතු ගන්නට - සිතක් පහළව සිටි තැනේ
05. රහත් මුනිවරැ පැමිණි රජු වෙත - මුනිදු වදහල දේ කියන්නේ
සාක්කියකට සිටින සක් දෙවි - ද්‍රෝණයක් ධාතුන් රකින්නේ
06. මහත් කොට ලොව සදන සෑයට- බුදු රජුන් වෙන් කොට තබන්නේ
රහත් ගුණයට හිස නමා රජු - ධාතු ගන්නට එහි නොයන්නේ
ධාතුන් වහන්සේලා තැන්පත් කළේ රාමග්‍රාම ස්ථුපයේ. ඒ ස්ථූපය ගංගාවේ සැඩපහරට කැඩුණා. කරඩුව පහළට ගසාගෙන ගියා.
01. හිමිවතේ සිට ගලා බසිනා - නදී සැඩ පහරයි වදින්නේ
රම්ගමේ ඇති සෑය බද වට - සදක් ගෙවනා ලෙස කැඩෙන්නේ
02. දිනක් ඒ දාගැබ කැඩී ගොස් - කරඩුවද නදියට වැටෙන්නේ
මැණික් වරැසාවකට මැදි වුණ - රනක් ලෙස පහළට ඇදෙන්නේ
03. නිවන් ලැබ දුන් මුනිදු ධාතුන් - මහා සයුරට වඩිමනේ
ගමන් නවතා කෙමෙන් පහළට - වඩින කරඩුව දකිමිනේ
04. පවන් විලසින් රැලි නගා යන - නාගයින් එය රකිමිනේ
දැනුම් දුන් විට නාග රජු හට - වැද වැටී එහි පැමිණුනේ
05. රන් රැවන් අතුරා යහන් මත - මැණික් දාගැබ කරමිනේ
මන් තුටින් මහකාල නා රජු - ලොවක් ලද ලෙස සතුටිනේ
06. නා අගනන් මිණි වීණාවන් ගෙන- නා නැටුමෙන් මල් සුවද සදුන් ගෙන
නා නා බුදු ගුණ කව් පද බැද ගෙන-නා රජවරැ නමදිති කරඩුව ගෙන
ඊලගට ධර්මාශෝක රජු මුල්වෙලා කළ ධර්ම සංගායනාව. ඒ ධර්ම සංගායනාවෙන් පස්සේ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කළා.
01. දඹදිව් තලයේ පිපුන සසුන් මල
කලින් කලට පරවෙන්නට යන කල
මලින් සුවද රෙන් උරන බඹර කැළ
ලෙසින් දෙවි බඹුන් රකිති සසුන් මල
02. සම්බුදු බණ දුක් නිවන මගේ යන
අමතක කොට වාදයකට බැස ගෙන
ගෞතම සම්බදු සසුන බැහැර වෙන
තැනට පැමිණි විට සිවුරැ දරා ගෙන
03. පෙරට රහත් මුනිවරැ වඩිමින්නේ
අකලට පර වෙන මල රැක ගන්නේ
රජවරැ බුදු සසුනට පහදින්නේ
නිසි කල සංගායනා කරන්නේ
04. දම්සෝ නිරිදුන් දායක වෙනවා
කම්ඵල අදහන හැම එක්වෙනවා
නිම් නැති බාධක දුරහැරලනවා
දම්රජුගේ දම් සක සුරැකෙනවා
(පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)