Wednesday, August 31, 2016

**-- ඇයි මේ --**


"ඔබ හෙමින් හෙමින් ඇවිදින් මගෙ හීන ලෝකෙට
අතීත සැමරුම් එකිනෙක ගෙනෙයි මතකෙට.....
අමතක කරලන්නට යන හැම මොහොතකම
හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්නෙපා නුඹ....."

(මන්ජු)

Sunday, August 21, 2016

***- දිනාගැනීම 2 -***



#"විඩාබර වූ නෙතට රසඳුනකි ඔබ දැක්ම
ඔබයි මට මගේ පණ ආදරෙයි සුදු මැණික"#

මං මුලින්ම ඔයාව දැක්කාම....... මට අදහ ගන්න බැරි උනා.... මං බලන් උන්නා.... ටිකකින් තමයි තේරුණේ මගෙ හිතේ මැවුණු රූපෙ අයිතිකාරිය නේද මේ කියලා....

දවස් ගාණක් පෙරුම් පුරලා.... මං ඔයාට මගේ ආදරේ කිවුවා.... දෙවියෝ මගේ මූණ දිහා බැලුවා.... ඔයා කැමතියි කිවුවා.... එදා ඇතිවුණ සතුටට මං මුලු නගරෙටම ඇහෙන්න කෑගැහුවා, බස් එකේ නැටුවා.... හැබැයි හිතෙන්.... :D

2007 මගේ හිත අඳුරු වුණ අවුරුද්දක්.... ඔයාලගෙ ගෙදරින් අකමැති නිසා, ඔයා අපේ සම්බන්දෙ නතර කලා.... ඒ වුණාට මගේ බලාපොරොත්තු නම් නතර වුණේ නැහැ.... මගේ හිතට ඔයා නැතිව බැරි වුණා....

මාත් අත ඇරියේ නැහැ... ඔයාගෙ හැම විශේෂ දවසකදිම සුබ පැතුවා.... ඔයාගේ හිතේ මා ගැන මතකය අලුත් කෙරුවා.....

දවසක් ඔයා කිවුවා ගෙදරින් අකමැති නිසයි ඔයත් අකමැති කියලා... මට ඔයාගෙ ගෙදර අයත් එක්ක යක්ෂ කේන්ති ආවා, ඒ උනාට හිතට සතුටුයි... මගෙ කෙල්ල මට කැමතියිනේ.....

2011 ආයෙත් සැරයක් මගේ වාසනාව උදා වුණා. ඔයා පුන් සඳක් වගේ මගේ හිතට පැවුවා... ඒත් මට අභියෝගයක් තිබ්බා.... ඔයාලගෙ පවුලෙ අයගෙ හිත් දිනාගැනීම....

ඔව්..... මං දින්නෝ.... (ඒ කාලෙ අහසෙ දෙයියො හිටියා :D )

මගේ ප්‍රේම රාජ්ජෙ දි මගේ රැජිනට පෙම් කිරුළ පැළැන්ඳුවා.....

ඔයා මාව සම්පූර්ණ කෙරුවා.... මං දැන් තාත්තා කෙනෙක්.......

 ලිව්වේ
**කසූ**

"අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ"

***- දිනාගැනීම -***


"මුනිසිරි පාද පියුමන් ළඟ සිරස නමා...
පැතුමක් පතා බෝ සමිඳුට බාර උනා..."
ඔයා මාව හොයං ඇවිත් ආදරෙයි කිවුවා...
මට... මට හිතාගන්න බැරි වුණා... මගෙ හිතට ආදරේ අරන් ආවේ ඔයා... ජීවිතේට සිසිලසක් වුනේ ඔයා... මගේ මුළු ලෝකෙම වුනේ ඔයා...
ගෙවල් වලට හොරෙන් අපි ආදරෙන් උන්නා... ඔයා මාව ආදරෙන් බලා ගත්තා... මගෙ අනාගතේ ඔයා කියල තේරුණාම මං ගෙදරට කිවුවා...
එදාට පස්සේ අපේ ගෙදර යුද්ධ පිටියක් වුණා...
ගෙදරින් අකමැති නිසා, මං නිහඬ වුණා. දන්නවද මං ගත්තු අමාරුම තීරණය ඒකයි... අපේ ආදරේට විරාමයක් උදා වුණා...
මං ඇඬුව තරම් දන්නෙ මගෙ ඇස් දෙකයි... මගෙ හදවත ඔයා වෙනුවෙන් කොච්චර නම් වැලපුණා ද... ගෙදර අය ඔක්කොම එක පැත්තක් ගනිද්දි මං තනි වුණා...
ඒ වුණාට ඔයා මාව අමතක කලේ නැහැ... මගේ හැම විශේෂ දවසක්ම ඔයාට මතක තිබුණා...
ඊට පස්සෙ මටත් නොදැනිම මට ඔයාව නැතුව බැරි වුණා...මගේ හිතට ආයෙමත් ආදරේ සුවඳ දැනුණා...
අපි දෙන්නා අපේ ආදරේ වෙනුවෙන් සටන් කළා... ගොඩාක් ඉවසුවා... අපි අපේ ආදරේ විශ්වාස කළා. අන්තිමට අපි දින්නා... ඔව්... අම්මලා අපේ ආදරේ තෙරුම් ගත්තා...
අද අපි දෙන්නා චූටි රොස මලක් වන් දියණියකගෙ දෙමවුපියෝ... මාත් දැන් අම්මා කෙනෙක්... ඇත්තමයි, එදා මගේ අම්මටයි තාත්තටයි දැනුනේ මොකක්ද කියලා මට අද තේරෙනවා...

 ලිව්වේ.....
**කසූ**

"අවන්හලේ දී තනි වී දෙන්නා
රුවන්වන් පැතුම් පතමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී... නව ලොවක් උදා වී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා"

***- මං යන්නම් -***


"ඔබේ රුව තුල මගෙ හිත අද අතරමං වෙලා...

පාර කියනු මැන වෙන්වී යන්නට හදවතට මග වැරදිලා..."

ඔයා ගැන මගේ හිතෙ ඉපදුන ආදරය කොයි තරම්ද කියලා මට 

කියාගන්න බැහැ......

නමුත්.. ඔයාව මට උරුම නැහැ කියල මං දන්නවා....


මං හිතන්නේ සංසාරේ ගමනේ දී ඔයයි මායි ගොඩාක් වාරයක් 

මුණගැහිලා ඇති, ආදරේ කරලා ඇති.... ඒකයි මේ භවයෙදි මට ඔයාව

 මේ තරම් හුරු පුරුදු....

මගේ ආදරේ වෙනස්.... කවදාවත් හමුවෙලා නැති, කෝල් කරලා නැති 

ඔයා ගැන මගෙ හිතෙ ආදරේ වෙනසක් නැහැ....

එක ආත්ම භවයකදි මං ඔයාව එපා කියන්න ඇති, ප්‍රතික්ෂේප කරන්න 

ඇති.... ඒකයි මේ තරම් ම දුරස් බවක්.... ඒ දඬුවම මං විඳින්නම්.....

ඒත් දන්නවද අපි ආයෙ කවදාවත්ම හමු නොවේවි... මං ඔයාට 

සමුදෙනවා සදාකාලයටම, අවසරයි ඔයාට පියාඹන්න ඔයාගෙ 

ලෝකයේ... නිදහසේ...

මං සතුටින්... ඔයාගේ සතුට මගේ නිසා....



"හමුවෙනා නෙත් දහක් අතරින්

ඔබේ දෑසම සොයා ඇවිදින්

ඔබට මෙතරම් ලංව ඉන්නේ

නොලැබෙනා බව දැන දැනයි"


ලිව්වේ
**කසූ**

Wednesday, August 17, 2016

***- සඳ -***



"මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
සරා සඳ විය පෑයු හිත් අහසේ"

ඔයා දන්නවද.....
දවසක් මං ඔයාව හඳට උපමා කලේ ඇයි කියලා.....
හඳ කියද්දි ඔයාගේ හදවතට දැනෙන්නෙ මොකක්ද??? ම්ම්ම්ම්ම්... ආන්න ඒ හැඟීම තමයි.... මට ඔයාව මතක් වෙද්දිත් දැනෙන්නෙ.... 
ඒ වගේම තමයි මට මෙහෙමත් හිතුනා......

සමාජය කියන අහසේ ගුරුවරයා කියන හඳ තමයි ඔයා.... එතකොට, තරු... ඔව්... ඔයාගෙ ගෝල බාලයො තමයි හඳ වටකර ඉන්න තරු කැට.... ම්ම්ම්ම්ම්... ඉතින් පුර හඳ කියන්නේ දැනුමෙන් පරිපූර්ණ වුනු ඔයා.... හඳ එළියෙන් තරු බබළනවා වගේ තමයි...., ඔයාගෙ දැනුමෙන් පෝෂණය වෙන ළමයි. දන්නවද.... පුර හඳ ලැබුවට පස්සේ... හඳේ එක එක වක ගානෙ අඩු වෙනවා... එහෙම ගිහින් දවසක අමාවක එනවා....... ඔයාත් ඔයාගෙ දැනුම ළමයින්ට බෙදලා දීල දීලා දවසක මේ ජීවිතේට සමුදේවි, මේ ලෝකෙන් යන්නට යාවි.... ඒ උනාට එදාට... අමාවක දා තාරකා ලෝකේ එළිය කරනවා වගේ, ලෝකෙ ලස්සන කරනවා වගේ.... ඔයා නිර්මාණය කරපු, ඔයා දායාද කරපු ඔයාගෙ ගෝලයෝ මේ ලෝකෙ ලස්සන කරාවි... ලෝකය බබළවාවි......

ඉතින් ඔයා හඳ නෙමෙයි කියන්නේ කොහොමද???
ඒ වගේම මං කියනවා

"හඳේ එළියට ලෝභ කෙරුවට, සඳ අයිති නිල් අහසටයි" කියලා........
"මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
 එදා සඳ නොව මෙදා සඳ ඔබ
 මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
 මගේ...."

ලිව්වේ..
**කසූ**

Tuesday, August 16, 2016

බිව්ව වගේ නෙමෙයි කූඩුවේ ඉද්දි


මීගමුව උසාවියේ සිදුවන කතන්තරකාරයා ඇස් දෙකෙන් දැක්ක සිදුවීමක් තමයි මේක. මීට පෙර උසාවි වලට ගිහින් නොමැති නිසා කතන්තරකාරයා දුටු දෙය වැරදියට සිතා සිටිනවාද දන්නේත් නෑ. හරි වැරද්ද ඔයාල හිතල බලන්නකෝ, මම සිදුවුණු සිදුවීම කියන්නම්.

මා කියන්නට යන කතාවේ වරද වූයේ අපේ අතින්මය. එය මුලින්ම පිළිගෙන සිටිමි. සිදුවීම සිදුවූවේ මේ අයුරිනි.

එදින සිංහල අලුත් අවුරුද්ද සදහා ආයතනය ලබාදුන් නිවාඩු අවසන් වී නැවත රාජකාරීන් ආරම්භ කළ දිනය විය. නිවාඩුවෙන් පසු වැඩ පටන්ගෙන පළමු දිනය නිසා වැඩි වැඩක් ආයතනය තුල නොතිබූ නිසා, අපි විසින් කළමණාකාරතුමාගෙන් වේලාසන යාමට අවසර ඉල්ලා ගතිමු. ඒ සෑම වසරකම සිංහල අලුත් අවුරුදු සැමරීම සදහා පුංවි පාටියක් දැමීම සදහායි. කාර්ය්‍යමණ්ඩලයේ මිතුරන් එක්වී අහල පහල ඇති සාමාන්‍යතත්වයේ චයිනීස් රෙස්ටුරන්ට් එකක වෙනදා මෙම පාටිය පවත්වන අතර, මෙවර පාටිය පැවැත්වීමට තෝරා ගැණුනේ අලුත්ම තැනක්. ගම්පහ පැත්තේ අලුතෙන්ම පටන් අරන් තිබුණු අවන්හලක්, අපේ ආයතනයෙන් ඉවත්වීගිය මිතුරකු විසින් මෙම ස්ථානය යෝජනා කල අතර ඔහුගේ කාර් එකෙන් අපිව රැගෙනයාමට පැමිණෙන බව පැවසුවා.  කොළඹ සිට රැකියාවට පැමිණෙන මිතුරෙකුත්, අප ආයතනයේ රියදුරැ මහතා සහ තවත් ආයතනයේ මිතුරන් දෙදෙනකුත් කළින් සදහන් කළ මිතුරාගේ කාරයේ යාමට සූදානම් වුණා. අනිත් පිරිස තම තමන් පැමිණි වාහන වල යාමට සූදානම් වුණා, කතන්තරකාරයාත් ඉතින් තවත් යාලුවෙකුත් දාගන අනිත් මිතුරනුත් සමග පිටත් වුණා. අවශ්‍ය සියලුදේ රැගෙන (බියර් සහ අරක්කු) කතන්තරකාරයා එතනට පැමිණෙන විට අනිත් සියලු දෙනා බයිට්,සැන්ඩි ආදිය සූදානම් කරල තිබුණා. (මේවගේ අවස්ථාවල කළමණාකරන කටයුතු භාරදෙන්නේ කතන්තරකාරයාට තමා ඉතින්, ඒ ඉතින් කතන්තරකාරයා මතින් තොර පුද්ගලයෙක් නිසා)
පාටිය පටන්ගත්තා. අවන්හල අලුත් නිසාදෝ, බයිට් ටිකනම් ප්‍රමාණයෙන් සහ තත්වයෙන් නියමෙටම තිබුණා. කතන්තරකාරයාත් ඇති තරම් බයිට් කා ස්ප්‍රයිට් පානය කලා. වෙලාව ක්‍රමයෙන් ගතවීගියා. එය කතන්තරකාරයාට හොදහැටි දැනුනත්, මතිවී සිටි අනිත් මිතුරන්ට කාළය පිළිබද අවබොධයක් නොතිබුණි. වෙලාව රාත්‍රී 08.00 , 09.00 වෙනකොට එකා දෙන්නාට නිවෙස් බලා යාමට අවශ්‍ය විය,මෙවන් අවස්ථාවල කතන්තරකාරයාගේ වගකීමක් වූයේ බීලා වැඩිවුණ පුද්ගලයින් ප්‍රවාහනය. වගකීම ඉෂ්ඨ කිරීමක් ලෙස මුලින්ම, දුම්රියේ වේයන්ගොඩට යන මිතුරකු ගම්පහ දුම්රිය නැවතුම් පොළ වෙත ගෙනයාමට සිදුවිණි. ඔහු සිහිය නොමැති තත්වයට මත්පැන් පානය කර නොමැති වීම සහනයක් වුණා. ඒ යන අතරතුර සිගරට් බීමට එක් තැනකත්, බුලත්විට කෑමට තවත් තැනකත් බයිසිකලය නැවැත්වීමට සිදුවුණා. ඒ හැරුණුකොට වෙනත් ගැටලුවක් ඔහුගෙන් සිදුවුණේ නෑ. ඔහුව ප්‍රවේශමට දුම්රියට නංවා නැවත අදාල ස්ථානයට පැමිණෙනවිට සියලු දෙනා මත්පැන් බෝතල් හිස් කර තිබූ අතර හතර පස්දෙනෙකු සිටි තැන්වලම නිසොල්මන් වෙලා, ඒ කියන්නේ හොදටම වැදිලා. තවත් කොටසකට මද පවනට වැදිලා, තවත් කොටසකට වැදිලා නෑ (ඒ මම ඈ.....) මදපවනට වැදුණු කට්ටියට පොලීසියෙන් ගැටලුවක් නොවී යන්න පුලුවන් පාරවල් කියා දීල ඔවුන් පිටත් කරල හැරිය අතර, හොදටම වැදුනු තුන් දෙනෙක් ඉතිරි වුණා. කලින් කියපු යාලුව මතකයි නේ. කාර් එකේ කට්ටියවම දාගන ආවෙ, අන්න එයාටත් ඉතින් මදපවනට තමයි වැදිල තිබුණේ. එයා කිව්ව හොදටම වැදුනු සෙට් එක දාල එන්නම් කියල.

වෙන යන්න ක්‍රමයක් නොතිබුණු නිසා වැඩිවුණු තුන්දෙනාවත් වාහනයට නංවාගන, පරිස්සමට යනලෙස අවවාද කරල, කොයිකටත් කියල ඔවුන් පසුපසින් මමත් බයිසිකලයෙන් ගියා. මද දුරක් යනවිට කාරයේ වේගය වැඩිවූ අතර, කාරයේ සෙට් එකත් ඉතා ශබ්ධයෙන් දාගන, ඇතුලේ සිටි පිරිස අත් වාහනයෙන් එලියට දමමින්,හූ කියමින්, කෑකෝගසමින් යන්නට වුණා. ජා ඇලට කිට්ටුවෙනකොටම රාත්‍රී මුරසේවයේ හිටපු පොලිස් ත්‍රීරෝද රථයක් සහ බයිසිකල් නිලධාරීන් පිරිසක් පසුකර ගිය අතර මොවුන්ට තේරැණා මත්පැන් පානය කරල තමයි පදවන්නේ කියල. මම කාරෙකට ලංකරල කිව්වා ඇතුල් පාරකට හරවන්න, සද්දේ අඩු කරන්න ආදී වශයෙන්, නමුත් කියූ කිසිදෙයක් ඔවුන් නෑසූ අතර පොලිස් නිළධාරීන් ලුහුබැදන් ඇවිත් එක්වරම කාර් එකට ඉස්සර කරල ත්‍රීවීලර් එක සහ බයිසිකලය නැවැත්වුවා. වාහනය සහ රියදුරා පමණක් අත්අඩංගුවට ගත් අතර, අනිත් පිරිසට යන ලෙස පොලීසිය විසින් ප්‍රකාශ කලා. මේ වෙනකොට හැමෝගෙම වෙරි බැහැලා. (හෙ හේ......) පොලිස් නිලධාරියෙක් කාරය පැදවූ අතර අනිත් පිරිසත් නංවාගත්තේ ඔවුන්ට යාමට වෙන වාහනයක් නොතිබූ නිසා.කතාබහකර සහනායක් ලබා ගැනීමට උත්සාහ කළද (ජරාවක් දීමට) ඒ සදහා පොලිස් නිළධාරීන් එකග නොවිනි.

**පොලීසිය ගැන දෙයක් පැවසීමට අවශ්‍යයි, පොලිස් සහතිකයක් ලබා ගැනීම, රක්ෂණ කටයුත්තක් සදහා අවශ්‍ය ලිපියක් ලබා ගැනීම වැනි කටයුතු සදහා මිනුවන්ගොඩ පොලීසියට මා වාර කිහිපයක් ගිහින් තියෙනව, අපි කිසිම වරදක්වත් සිදුකරල නොවෙයි. නමුත් ඒ නිලධාරීන් අපට කථාකරන්නේ බල්ලන්ට වගේ. (විශේෂයෙන්ම පහල නිළධාරීන්) දවසක් බයිසිකලය ඇක්සිඩන්ට් වෙලා, රක්ෂණයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ගන්න රථවාහන අංශයට ගියවෙලේ, මා පැය 1 ½ පමණ රස්තියාදු කළ අතර පරක්කු ඇයි යන්න විමසූවිට පොලිස් කාන්තාවක් මා හට කියා සිටියේ  තොපි බීල ගිහින් හප්පගෙන උදේට එනව වාර්ථාගන්න කියලා. කනේ ගහන්න හිතුන ඒ බැල්ලිට. මම හිතාගත්ත පොලිස් කාරයෙක් පාරෙ මැරෙන්න වැටිල හිටියත් ආයෙ ඇහැක් ඇරල බලන්නේ නෑ කියල. **

ඒ අතින් බලනවිට ජා ඇල පොලීසිය මනුස්සයින්ට සැලකීම අතින් ඉහල මට්ටමක තියෙනව කියල දැනගත්තේ මේ සිදුවීම සිදුවුණ දවසේ. බීල වැඩි වෙලා හිටිය පුද්ගලයින්ට පවා ගරු සරු ඇතිව කතා කළා. මා එය දුටුවා. කෙසේ හෝ වාහනය පැදවූ මිතුරා බැල්ම් පුම්බා අවසානයේ කූඩුවට දැමූ අතර අනිත් පිරිසට නිවෙස්වලට යනලෙස පැවසුවා. ඔවුන් පිටත්කර හැරිය අතර නැවත පැමිණ මිතුරාට බිස්කට් සහ සිසිල් බීම බෝතලයක් ද බිම වාඩිවීමට පත්තර කොළ කිහිපයක්ද ලබා දී ඒ අසල සිටි පොලිස් නිලධාරියකු සමග කතාබහ කර සිදුවිය යුතු දේ පිළිබදව දැනගත්තා. එතුමා පැහැදිලිකරදුන් ආකාරයට පසුදින උසාවි දිනයක් බැවින් එදිනටම නඩුව ලියවාගත් අතර ඔහුට ස්තුති කර මිතුරාටද සමු දී පසුදින උදෑසන උසාවියට පැමිනෙන බව පවසා මා නිවෙස බලා පිටත් වුණා. නිවසට පැමිණෙන විට වෙලාව පාන්දර 02 පමණ වූ අතර ඇගපත සොදාගෙන නිදාගත්ත.

පසුදා උදේම සූදානම් වෙලා මිතුරා බැලීමට පොලීසියට යනවිට තවත් මිතුරන් පැමිණ සිටි අතර ස්වල්ප වේලාවකින් ඔවුන් පොලිසියේ ජිප් රථයකට නංවාගෙන මීගමුව උසාවියට රැගෙන ගියා. ඒ පිටුපසින් මම තවත් මිතුරකුත් නංවාගෙන මගේ බයිසිකලයෙන් උසාවිය වෙත ගියා. බයිසිකලය නවත්වා උසාවියේ අදාල නඩුව අසන ශාලාවට අපි පැමිණි අතර, වෙනත් පොලීසි වලින් සහ බන්ධනාගාරයෙන් ගෙනා සිරකරැවන් දැමීමට උසාවියේ පිටුපස සකසා ඇති සිරකුටියට අපේ යාලුවත් දාලා තිබුණා. ඔහු සිරකුටියේ සිටින ආකාරය දුටු අපිට එක්වරම සිනාවකුත් නොගියාම නොවේ.....

විනිශ්චකාරතුමා පැමිණි අතර මද වේලාවකින් උසාවියේ වැඩ පටන්ගත් අතර, 11.30 පමණ වෙන විට මිතුරාගේ නම කියනු ඇසුණා. ඔහු සිටි කූඩුවේ දොර ජේලර් වරයකු විසින් ඇරිය අතර මිතුරා විත්ති කූඩුවට ගොඩවීමටත් පෙර දඩය 6000/= රියදුරැ බලපත්‍රය මාස 06ට අවලංගු බවත්, දඩය ගෙවීමට පසු නිදහස් කරන බවත් පැවසුවා. මිතුරාව නැවත සිර කූඩුවට දැමූ අතර දඩ මුදල ගෙවීමට ඇති ස්ථානය සොයා මමත් සහයට පැමිණි මිතුරාත් පිටත් වුණා. එහිදී සිදුවන්නේ දඩ මුදල ගෙවා මුදල් ගෙවන ස්ථානයෙන් ලබා දෙන කොළය රැගෙනගොස් සිරකුටිය අසල මේසයේ සිටින නිළධාරීන්ට එම කොළය ලබා දීමයි. එය ලබා දුන් ක්ෂණයෙන් සිරකරුවා නිදහස් කළයුතු අතර සමහර පුද්ගලයින් එම කොළය ලබා දුන් පසුවත් සෑහෙන වෙලාවක් කූඩුවේ තබා ගනියි. මගේ මිතුරාටද එසේ සිදුවූ නිසා, මා විසින් නැවතත් කොළය ලබාගත් නිළධාරිනියගෙන් ඒ පිළිබදව විමසා සිටියා. ඇය හරි හරි, දායි දායි පැවසූ අතර, මම කූඩුව අසලට වී මිතුරා එළියට දමනකම් බලා සිටියා.

**** එහිදී මා දුටු දෙය තමයි මෙම ලිපිය ලිවීමට මුල් වූ හේතුව, එහිදී මා දුටු ආකාරයට දඩ මුදල් ගෙවූ කොළය ලබාගැනීමට සිටින නිළධාරීන්ට සමහර (උසාවිය පුරුදු, නිතර යන එන) පුද්ගලයින් විසින් දඩය ගෙවූ කොළය සමග රැ.100 මුදලක් ලබා දෙයි. එතන සිටින නිලධාරීන් එම මුදල සගවාගන මුදල් සමග දඩකොළය ලබාදුන් අය පමණක් ඉක්මණින් එලියට දැමීම සිදුකරන අතර අනිත් පුද්ගලයින් පමාකර නිදහස් කරයි. මෙම සිද්ධිය මා බලා සිටිනු දුටු එක් නිලධාරිණියක් එක් වරම තිගැස්සී අපේ කොළය ජේලර් කෙනෙක්ට ලබා දුනි. ඉන්පසුව මිතුරාව නිදහස් කළ අතර අපි එම ස්ථානයෙන් පිටත්වී නැවත ජා ඇල පොලීසියට පැමිණ යාහලුවගේ කාර් එකත් නිදහස් කරගෙන නිවෙස් බලා ගියා****

යුක්තිය ඉටුකරගන්න අපි යන උසාවිය තුලත් මෙවැනි වැරදි ක්‍රියා සිදුවනවානම් වෙන ස්ථානවල සිදුවෙන එක ලොකු දෙයක් නෙමෙයි.

මට කියන්න තියෙන්නේ මගේ මිතුරන්ට යම් හේතුවකින් මීගමුව උසාවියේ කූඩුවෙන් මිතුරකු හෝ නෑදෑකෙනෙකු හෝ කවුරුන් හෝ ඉක්මණින් එලියට ගැනීමට අවශ්‍ය නම්, රැපියල් 100 මුදලක් සමග දඩය ගෙවූ කොළය ලබා දෙන්න කියල විතරයි. ඒක කියන්න තමයි මේතරම් වටයක් ආවේ..... හෙ හේ......
තවත් ලිපියකින් හමු වෙනකම් එහෙනම් ජයවේවා!!!

මම,

කතන්තරකාරයා.....

Thursday, August 11, 2016

විගහින් ගෙදර වරෙන් පුතේ...............

''කිරි පුතේ.................. කිරි පුතේ.................. මගේ................... කිරි පුතේ...............


නොනවත්වා ඇසෙන සිහින් වේදනාකාරී හඩ ජයමල්ගේ දෙසවනට වැදුන ද හදවතට වැදුනේ නැත. ඔහු කඩිසරව ඇදුම් මදියි. පාසල් යාමට සැරසෙන පුතාව සූදානම් කරයි. පාන්දර යාමයේ සිට කන්කරච්චලයක් වූ දුරකථනයට පිලිතුරැ දෙයි. කාර්යාලයට රැගෙන යන බෑගය නැවත නැවත පරික්ෂා කර බලයි. ඒ මදිවට තමාගේ කුළුපගු මිතුරා වූ ධනුෂ්ක ලබා දුන් වටිනා වස්තුව සේ රැකබලාගන්නා පොමනේරියන් බලු පැටියාට අවශ්‍ය බේත් හේත් කෑම බීම ආදිය ගැනද සොයා බලයි.

සපත්තුවට කකුල් ඔබා ගනිමින් සිටි විසල් සිය පියා දෙස බලා සිටියේ විමතියට පත්වූ ආකාරයෙනි. පියා එහාටත් මෙහාටත් කඩියෙකු සේ දුව පැන වැඩ කිරීම නිසා තම පියා ඔහුට දැනුනේ සජීවි බවින් තොර රොබෝ යන්ත්‍රයක් මෙනි.

''තාත්තේ'' යැයි ඔහු හඩ නැගුවේ ජයමල් තම පියාම දැයි දැන ගැනීමට මෙනි.

''මොකද ළමයෝ''

ස්වරය උස් කොට තම පියා ටිකක් තදින් හඩ නැගුවද විසල් එයින් සෑහීමකට පත්විය.

''ආත්තා කතා කරනවා''

ඔහු එලෙස පැවසුවේ ඒ ඇසීමෙන් පියා තමාට කඩා පනින බව ඒකාන්තයෙන්ම දැනගෙනමය. එහෙත් ආත්තාගේ ගොරෝසු ශෝකී කටහඩ තම පපුවේ කොතනටදැයි නිශ්චය කරගැනීමට නොහැකි වූවත් සිහින් පිහි තුඩකින් සූරන්නාක් මෙන් විසල්ට දැනුනි. තම පියා කෝප වූවත් නැවත මතක් කිරීමට විසල්ව පොළඹවනු ලැබුවේ එබැවිනි.

''පව් තාත්තේ.................''

විසල් තවදුරටත් දරාගැනීමට නොහැකි වූයෙන් තම පියාට නැවතත් වරක් බැගෑපත් විය. ජයමල් එයින් කෝප වූවා පමණි. එහෙන් තම මුවින් වචනයක් පිට කළේද නැත.

''ඉක්මන් කරලා ලෑස්ති වෙනවා. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. අම්මටයි පුතාටයි බස් එකේ එන්න කියලා දාලා යන්වා ඔන්න''.

විසල් ඉමහත් කණස්සල්ලට පත් විය. තමාට දරාගත නොහැකි දුකක් ද මනසට වද දෙන්නට විය. පියා කාමරයට ගොඩ වීමට පෙර පොත් ටික සකස් කර ගත යුතු බව සිහි වූයෙන් අකමැත්තෙන් වුවද තම කාමරයට පියනැගුවේ අජීවි ගතින් යුතුවය.

''අයියෝ මොකද අර සද්දේ..... දවසම මට තමයි විසුමක් නැත්තේ. වෙලාවට කන්න බොන්න දෙනවා නම්.... දවසට තුන් හතර සැරයක් සුද්ද පවිත්‍ර කරනවා නම්........... බෙහෙත් හේත් ටික වෙලාවට දෙනවා නම් තව ඔඩොක්කුවේ තියලා නලවන්නද කියන්නේ.''

ඒ විසල්ගේ අම්මා මානෙල්ය. උඩු මහලේ සිට තරප්පු පෙළ බසිමින් තම සැමියාට යටි සිතින් පහරක් එල්ල කිරීමට මෙන් කියාගෙන ගියාය.

''තේ දීලා සෑහෙන වෙලාවක් වෙනවනේ. වතුර තිබහද දන්නෑ''. තාත්තා උත්තරයක් දුන්නද අම්මාගේ කියවීම නැවතුනේද නැත.

''මේ කරදරය දැන් මාස කීයක්ද?........... තව දරැවෝ ඉන්නවා නේද? ඇහැක් ඇරලා බලනවාද?...... ඇයි එයාලට බැරි සතියක්වත් තියාගෙන සාත්තු සප්පායම් කරන්න.''

ජයමල් කාර්යාල බෑගයට බඩු ටික ඔබා ගත්තේ අදුරැව ගිය මුහුණින් යුතුවය.

''අයියා ලබන සතියේ එක්ක යනවා කිව්වා.''

''අපොයි බලාගෙන ඉන්නවා එක්ක යයි මේන් කියලා.''

''තමුසෙගෙ අම්මාත් මාස ගණනක් ඇවිත් හිටියේ.''

''ඔව් ඉතිං ඔයාට පේන්නේ අපේ අයට සලකන විදහම තමයි. අපේ අම්මලා තාත්තලා නැත්නම් බලාගන්න තිබුණා ජීවත්වෙන හැටි.''

මානෙල් ගේ දෙතොල් තවමත් සලිත වෙමින් තිබුණාය. ඇය තවත් යමක් කිවද එය වචන බවට පෙරලුනේ නැත. ඒ වන විටත් මේසය මත තිබූ බත් මුල අඩමානයට ඇල්ලීමෙන් ජයමල්ගේ අතින් බිමට වැටුණි. පත්තර පිටුවක ඔතා තිබුණු බත් මුල ටයිල් ඇල්ලූ පොළොව මත විසිර ගියේය. සමාව අයදින බැල්මක් තම බිරිද මානෙල් කෙරේ යොමු කළත් ඇගේ මුහුණේ තිබුන කෝපය නලියන ඇස්වල දීප්තියක් දරා ගැනීමට නොහැකි බවක් ජයමල්ට දැනුණි.

''මම උදේ පාන්දර නිදිමරාගෙන හදපු බත් එක. තමුසේ මාව බය කරන්න ඔය වගේ පහත් වැඩ කෙරැවට මම බය වෙන්නෑ. ආයේ මම තමුසෙට බත් හදල දෙන්නේ නෑ. අද ඉදන් කඩෙන් කනවා.''

මානෙල් ගේ කෝපය වචන වලට පරිවර්තනය වී ජයමල්ගේ දෙසවනට යකුලින් අනින්නට විය.

''අත් වැරැද්දක් වුණේ. මම හිතලා කළේ නෑ. පසුතැවීමේ ස්වරය ගැබ් වූ ජයමල්ගේ හඩ අබිබවා මානෙල්ගේ කටහඩ නොනැවතීම පිපිරෙන්නට වූවා.

''අත්වැරැද්ද?  අනේ මම දන්නේ නැති මිනිහා, තමුසෙ මගෙන් පලිගන්ඩද ඔය හදන්නෙ''.

මානෙල්ගේ වචන වල තෙතමනයක් ගෑවිලාවත් නැත. තමා නොරැස්සන ස්වභාවය හොදින් වටහා ගත් ජයමල් නිවස පුරා රැව්පිලි රැව් දෙන මානෙල්ගේ කටහඩින් සවන් මුදවා ගැනීම සදහා මිදුලට පිය තැබුවේය. තරමක් නිහඩ ප්‍රතිපත්තියක් ඇති ජයමල් තම නිවස වෙන් වී ඇති තාප්පය දෙස බැලුවේ ඉබේටම මෙනි. සෑම දෙයක් ම හාරා අවුස්සා හැම කණකටම ගිනි තියන කාන්තාවක් වූ යසන්ති නෝනගේ දෙනෙත් තමා දෙසට යොමුවී ඇතිබව දුටුවෙන් මහත් අපහසුකාරී තත්වයකට පත් විය. එසැනින් ගෙට ඇතුළු වූ ජයමල් තවමත් පුපුරන්නට බලාගෙන සිටි මානෙල් අසලට වී සිට ගත්තේය.

''දැං ඉතිං කරැණාකර ඕක නවත්තනවා.''

එහි ගැබ්වූ බැරෑරැම් බව නිසාම දෝ මානෙල් ගේ පොපියන කට අවදි වූයේ නැත. නොරැස්නා බැල්මක් හෙලූ ඇය තම සිරැරේ බර සෝපාව මත තැබුවාය.

එසැනින්ම තම කාර්යාල බෑගය අතට ගත් ජයමල් ගරාජයට ගොස් කාරය පණ ගැන්වීය. යාන්ත්‍රික චලනයට මොහොතකට සවන් දුන් ඔහු තම අත තිබූ යමක් නැති වූ විට ඇති වන ආකාරයේ හැගීමක් දැනෙන්නට විය. තවමත් ආකූල ව්‍යාකූල මනස සන්සුන් කර ගැනීමට නොහැකි වුවත් ජයමල් එයට උත්සාහ ගත්තේය. ඒ සමගම පුතා කාරයට ගොඩවී නැති බව වැටහුනෙන් ආලින්දයට නෙත් යොමු කර වායුසමීකරණය ක්‍රියාත්මක කළේය.

''පුතා............... පුතා........................''

ජයමල් රථය තුල සිටම ආලින්දයට ටික වේලාවක් දෑස් යොමු කලත් පුතාගේ සේයාවකුදු දක්නට නොලැබුණි.

''පුතා............... අද කොලේජ් යන්නැද්ද?''

උස් ස්වරයකට මාරැ වූ ජයමල්ගේ හඩට පුතාගෙන් පිළිතුරක් හෝ නොමැති වූවා පමණක් නොව පාළු නිහඩ බවක් මුළු පරිසරයම වෙලාගෙන තිබිණි. කිසිදිනෙක තම රාජකාරියට ප්‍රමාද වී වාර්ථා නොකරන ජයමල්ට දැනටමත් පැයකට අධික කාලයක් ගතවී හමාර බව තම අත බැදි ඔරලෝසුව දෙස බැලූ ඔහුට පෙනුනි. වැඩට යාමේ අදහස අතහැර දමා ගෙල බැදි ටයි පටිය ඇද ගලවා ගත් ජයමල් බෑගය අතට ගෙන රථයෙන් බැස දොර තදින් වැසුවේ තමා කෙරෙහිම කණගාටුවක් ඇති වූ නිසාය.

''පුතා..................... පුතා..............''

විසල්ගේ හැලහොල්මනක් නැත. ජයමල් පුතාගේ කාමරයට එබී බැලුවද ඔහු එහිද පෙනෙන්නට සිටියේ නැත. උඩුමහලට නැග බැලුවද එහිද නැත. කුතුහලය මුසු හැගීමකින් නලියන්නට වූ ජයමල් තවමත් සෝපාව මත වැතිර සිටින බිරිද දෙස බැලුවද කිසිත් නොදොඩවා තම පියා සිටින කුස්සියට යාබදව ඇති කාමරය දෙසට පියනැගුවේ අචේතනිකවය.

දුගද හමන අදුරැ කාමරය තුල විසල් සුදට සුදේ බැබලෙන ආකාරය දුටු ජයමල්ගේ ඇස් උඩ ඉන්දවිය. තම පියා කාමරයට ඇතුල් වීමත් සමගම විසල්ටග් සිත යම් චංචල භාවයකට පත් වුවත් ඒ වන විටත් නහර වැල් ඉලිප්පී ගිය අජීවි බවට පත් වී ඇති අතැගිලි අතර සිරවී තිබූ තම අත ඉවත් කර ගැනිමට ඔහුගේ හිත ඉඩ දුන්නේ ද නැත.

''කිරි පුතේ............... ඉස්කෝලේ ......... ඇරැනම........... වෙල් ගානේ කොල්ලොත් ...........එක්ක .....දුවනවා එහෙම නෙවෙයි. විගහිං ........ ගෙදර දුවගෙන එන්න ඕනෑ.............''

ගොරහැඩි ඇගිලි තව තවත් විසල්ගේ අත ග්‍රහණය කරගනිමින් වචන පැටලි පැටලි පැවසුවද එය විසල්ට අවබෝධ කර ගත හැකිවිය. 

''මම කිරි පුතා නෙමෙයි ආත්තේ. මම විසල්''

''බොරැ කියන්න එපා ........ කිරි පුතේ. මම දන්නවා............. උඹේ කපටිකම. ඔය අදත්.............. රෝන්දේ ගහන්න........ නේද....... උප්පරවැට්ටිය....... අද නම්........ පුතෝ......... මම පෙට්ටගමේ. හංගල තියෙන ....... වේවැල අතට ගන්නවා.''

වියලුන දෙතොල් මෑත් කොට සිනහවක් පෑවද එහි ජීවයක් හෝ හැඩයක් හෝ තිබුණේ නැත. සුදු පැහැ ගැන්වී තිබූ හිසකේ මෙන්ම මරණයේ කණ කොක් සුද ඔහුගේ මුළු සිරැර පුරා විහිදී තිබුණි.

අභාවයට යමින් පවතින මහළු වියත් ආලෝකමත් සුන්දර ළමා වියත් අතර ඇති පරතරය කාමරයට යාන්තම් එබෙමින් තිබූ හිරැ එළියත් යථාර්තවාදී ලෙස පෙන්වා දීමට ගත් උත්සාහයක් ලෙස ආලෝක තීරැ තීරැ පතිත වෙමින් තිබෙනු දැක ජයමල්ගේ කෝපය තාච්චියට දැමූ බටර් කැබැල්ලක් මෙන් දිය වී ගියේය. දිගු කලත් තම දෑසේ සැගවී සිටි කදුළු බිදුවක් කොපුල් තල දිගේ ගලා යන බවක් ජයමල්ට දැනුනද එය වැලැක්වීම සදහා ඔහු උත්සාහයක් ගත්තේ නැත. ''පුතා අද ඔයා කොලේජ් යන්න එපා. අාත්තා එක්කම ඉන්න.'' විසල් තම පියා සමග කුළුපග වී සිටින අයුරැ දුටු ජයමල් එසේ කියනවාත් සමග පියාගෙන් බැනුම් ඇසීමට බලාපොරොත්තුව සිටි විසල්ගේ මුවට සිනාවක් නැගුණි.

තිස්පස් වසරකට පෙර දුටු පියාත්, අද වැතිරී සිටින පියාත් අතර වෙනසක් නොදුටු ජයමල්ගේ සිතට යට ගියාව ආවර්ජනයට ආවේ නැතැතිනි. ඒ සොම්නස් සහගත සුන්දර අතීතයේ පියාගේ පසු පස ගාටමින් වෙල් ඉපනැල්ලේ දුව පැන්න කාලය අවුරැදු සමයේ පත්තු කරන නිලා කූරැ සේ මනසේ දැල් වී ආලෝක විහිදන්නට විය.

''ඔන්න කිරි පුතේ ඇඹිල්ල වගයක් මල්ලේ ඇති.''

''ඔව් මල්ලිට තමයි සේරම. එයා ඔක්කොම කනවා. අපට එකක්වත් දෙන්නේ නෑ''.

පියා වෙලට අඩුම කුඩුම දාගෙන යන මල්ලට අත දමා ජයමල් ඇඹිල්ල ටික ඔඩොක්කුවට දමා දිව යද්දී වැඩිමල් සහෝදරයා නෝක්කාඩු කියේ මූණ බාගෙට තැම්බුණ රොටියක් මෙන් කරගෙනය.''

''කිරි පුතේ අයියටත් ටිකක් දීපංකෝ''.

ජයමල් අහලකවත් නැත.

''අනේ අම්මපා උඹ වගේ කපටියෙක්. හොර ගෙඩියෙක්. ඒ ටිකට ජම්බු ගහ උඩ. හරි..... හරි.......... අයියට එපා. මම හෙට අයියට ගෙනත් දෙන්නම්. උඹ පරිස්සමෙන් බැහැපං.''

''එහෙම බෑ. මටත් හෙට ගෙනත් දෙනවා කිව්වොත් විතරයි මම බහින්නේ.''

තාත්තාගේ වචනය ගන්නකම් ජයමල් ගහ උඩය.

''විසල් ලෑස්ති වෙනවා මම එක්ක යන්නම්.'' මානෙල්ගේ හඩින් තමාගේ සිහින ජීවිතය බිදී විසිරී ගියේ ජයමල් යථා ස්වභාවයට පත් කරමිනි.

''අනේ ........ අම්මා...''

විසල්ගේ අතින් ඇදීමට බිරිද වෙහෙස ගනිමින් සිටි ආකාරය දුටු ජයමල්ට වෙනදා නැති නැවුම් ප්‍රාණවත් ප්‍රබෝධයක් ගත පුරා දිව යන අයුරැ දැනෙන්නට විය.

''නෑ. පුතා ඔහොම හිටපුදෙන්''.

විසල්ගේ අත මානෙල්ගේ අතින් මුදවාගත් ඔහු පුතාට සිතු සේ ඉන්නට ඉඩ හැරියේය.

''මට මොකෝ ඕනැ කුදයක් ගහගන්නැතෑ.''

''මින් පස්සේ තාත්තා කොහේවත් යවන්නෑ. මට පුළුවන් විදියට මම සලකනවා. කවුරැත් නොබැලුවාට කමක් නැහැ. මගේ තාත්තා ගැන මම බලාගන්නම්''.

තමාට ගස්සාගෙන යන බිරිද දෙස නොබලාම ජයමල් හිස් අවකාශයට එම වචන ටික මුදා හැරියේ තමා කෙරෙහි මහත් ආත්ම ශක්තියක් ගොඩනගා ගනිමින්ය.

Wednesday, August 10, 2016

අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනාව


සිරි මහ බෝ රජු නිතර වදින්ටයි
රන්මැලි මහ සෑයත් නමදින්ටයි
ථූපාරාමය සිහි කරගන්ටයි
අටමස්ථානය මම නමදින්ටයි

සන්සුන් සිත් අපහට ඇති වන්ටයි
කන්ළු ලෙස බුදු ගුණ පවසන්ටයි
රන්වන් රැස් සෑයෙන් විහිදෙන්ටයි
රන්මැලි සෑයේ වරැණ අසන්ටයි

කකුසද කෝණාගමන කසුප් බදු
සිහි කල මැන ඒ සම්බුදු ගුණ මුදු
පිරිණිවි සද මුනිවරැ පුන් සද බදු
යලි යුගයක් ඒවා ලොව සම්බුදු

අදුර නසන පහනක් විලසින්නේ
පවස නිවාලන ගගුලක් වැන්නේ
සද එළියක් සේ සිසිලස දෙන්නේ
සිරි ගෞතම බුදු සමිදු වඩින්නේ

දඹදිව් තලයේ හිමි වැඩ ඉන්නේ
දෙව් මිනිසුන් හට සැපත සදන්නේ
ලොව්තුරැ මගඵල දහම ඇසෙන්නේ
ගෞතම බුදු සසුනයි බබලන්නේ

බුදු කරැණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
බුදු සමිදුන් සිරිලකට වඩින්නේ

මහියංගන කැළණිය නා දිවයින
සංසුන් කොට පවසා සම්බුදු බණ
පින් කෙත ලෙස සරසා මේ දිවයින
වැඩියා ගෞතම මුනි සැනසුම දෙන

සිරිපා සමනොල සිරසෙ තබන්නේ
පිනි පා කොට සුරිදුන් නමදින්නේ
සතපා දිවමල් යහන් තනන්නේ
මුනි පා පහසින් පිරිසිදු වන්නේ

අටමස්ථානෙට සමිදු වඩිනවා
සැට අමුණක සුදු මල් වැගිරෙනවා
වට කොට දෙව් බඹ පිරිස සිටිනවා
අටමස්ථානේ ලොව බබලනවා

රන්කොත බබලනවා නිල් අහසේ 
පින්වතුනේ දැක ගනු මැන සිත් සේ
රන්බද දිස්වෙයි කිරි බුබුලක් සේ
රන්මැලි සෑ නමදිමු අපි සිත් සේ

සලන සෙමර මැද දිළි මැණිකක් සේ
චලන නොවන මහමෙර මුදුනක් සේ
මිලින නොකළ හැකි රන් පියුමක් සේ
බලනු මැනවි රන්මැලි සෑ සිත් සේ

මුදුන සිටම විදුලිය දැල්වෙනවා
බුදු රැස් කැටි කළ කොඩි ලෙල දෙනවා
මුදු මද පවනේ සුවද හමනවා
බුදු සසුනක ඇති සිරිය දැනෙනවා

පුන් කළසේ ඇති නෙළුම් පිපෙනවා
රන් මල් ලෙස මල් මාල ගොතනවා
පින් වරැසාවක් ලොවට වසිනවා
රන්මැලි සෑයෙන් රැස් විහිදෙනවා


සාදු!     සාදු!     සාදු!

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...