''කිරි පුතේ.................. කිරි පුතේ.................. මගේ................... කිරි පුතේ...............
නොනවත්වා ඇසෙන සිහින් වේදනාකාරී හඩ ජයමල්ගේ දෙසවනට වැදුන ද හදවතට වැදුනේ නැත. ඔහු කඩිසරව ඇදුම් මදියි. පාසල් යාමට සැරසෙන පුතාව සූදානම් කරයි. පාන්දර යාමයේ සිට කන්කරච්චලයක් වූ දුරකථනයට පිලිතුරැ දෙයි. කාර්යාලයට රැගෙන යන බෑගය නැවත නැවත පරික්ෂා කර බලයි. ඒ මදිවට තමාගේ කුළුපගු මිතුරා වූ ධනුෂ්ක ලබා දුන් වටිනා වස්තුව සේ රැකබලාගන්නා පොමනේරියන් බලු පැටියාට අවශ්‍ය බේත් හේත් කෑම බීම ආදිය ගැනද සොයා බලයි.
සපත්තුවට කකුල් ඔබා ගනිමින් සිටි විසල් සිය පියා දෙස බලා සිටියේ විමතියට පත්වූ ආකාරයෙනි. පියා එහාටත් මෙහාටත් කඩියෙකු සේ දුව පැන වැඩ කිරීම නිසා තම පියා ඔහුට දැනුනේ සජීවි බවින් තොර රොබෝ යන්ත්‍රයක් මෙනි.
''තාත්තේ'' යැයි ඔහු හඩ නැගුවේ ජයමල් තම පියාම දැයි දැන ගැනීමට මෙනි.
''මොකද ළමයෝ''
ස්වරය උස් කොට තම පියා ටිකක් තදින් හඩ නැගුවද විසල් එයින් සෑහීමකට පත්විය.
''ආත්තා කතා කරනවා''
ඔහු එලෙස පැවසුවේ ඒ ඇසීමෙන් පියා තමාට කඩා පනින බව ඒකාන්තයෙන්ම දැනගෙනමය. එහෙත් ආත්තාගේ ගොරෝසු ශෝකී කටහඩ තම පපුවේ කොතනටදැයි නිශ්චය කරගැනීමට නොහැකි වූවත් සිහින් පිහි තුඩකින් සූරන්නාක් මෙන් විසල්ට දැනුනි. තම පියා කෝප වූවත් නැවත මතක් කිරීමට විසල්ව පොළඹවනු ලැබුවේ එබැවිනි.
''පව් තාත්තේ.................''
විසල් තවදුරටත් දරාගැනීමට නොහැකි වූයෙන් තම පියාට නැවතත් වරක් බැගෑපත් විය. ජයමල් එයින් කෝප වූවා පමණි. එහෙන් තම මුවින් වචනයක් පිට කළේද නැත.
''ඉක්මන් කරලා ලෑස්ති වෙනවා. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. අම්මටයි පුතාටයි බස් එකේ එන්න කියලා දාලා යන්වා ඔන්න''.
විසල් ඉමහත් කණස්සල්ලට පත් විය. තමාට දරාගත නොහැකි දුකක් ද මනසට වද දෙන්නට විය. පියා කාමරයට ගොඩ වීමට පෙර පොත් ටික සකස් කර ගත යුතු බව සිහි වූයෙන් අකමැත්තෙන් වුවද තම කාමරයට පියනැගුවේ අජීවි ගතින් යුතුවය.
''අයියෝ මොකද අර සද්දේ..... දවසම මට තමයි විසුමක් නැත්තේ. වෙලාවට කන්න බොන්න දෙනවා නම්.... දවසට තුන් හතර සැරයක් සුද්ද පවිත්‍ර කරනවා නම්........... බෙහෙත් හේත් ටික වෙලාවට දෙනවා නම් තව ඔඩොක්කුවේ තියලා නලවන්නද කියන්නේ.''
ඒ විසල්ගේ අම්මා මානෙල්ය. උඩු මහලේ සිට තරප්පු පෙළ බසිමින් තම සැමියාට යටි සිතින් පහරක් එල්ල කිරීමට මෙන් කියාගෙන ගියාය.
''තේ දීලා සෑහෙන වෙලාවක් වෙනවනේ. වතුර තිබහද දන්නෑ''. තාත්තා උත්තරයක් දුන්නද අම්මාගේ කියවීම නැවතුනේද නැත.
''මේ කරදරය දැන් මාස කීයක්ද?........... තව දරැවෝ ඉන්නවා නේද? ඇහැක් ඇරලා බලනවාද?...... ඇයි එයාලට බැරි සතියක්වත් තියාගෙන සාත්තු සප්පායම් කරන්න.''
ජයමල් කාර්යාල බෑගයට බඩු ටික ඔබා ගත්තේ අදුරැව ගිය මුහුණින් යුතුවය.
''අයියා ලබන සතියේ එක්ක යනවා කිව්වා.''
''අපොයි බලාගෙන ඉන්නවා එක්ක යයි මේන් කියලා.''
''තමුසෙගෙ අම්මාත් මාස ගණනක් ඇවිත් හිටියේ.''
''ඔව් ඉතිං ඔයාට පේන්නේ අපේ අයට සලකන විදහම තමයි. අපේ අම්මලා තාත්තලා නැත්නම් බලාගන්න තිබුණා ජීවත්වෙන හැටි.''
මානෙල් ගේ දෙතොල් තවමත් සලිත වෙමින් තිබුණාය. ඇය තවත් යමක් කිවද එය වචන බවට පෙරලුනේ නැත. ඒ වන විටත් මේසය මත තිබූ බත් මුල අඩමානයට ඇල්ලීමෙන් ජයමල්ගේ අතින් බිමට වැටුණි. පත්තර පිටුවක ඔතා තිබුණු බත් මුල ටයිල් ඇල්ලූ පොළොව මත විසිර ගියේය. සමාව අයදින බැල්මක් තම බිරිද මානෙල් කෙරේ යොමු කළත් ඇගේ මුහුණේ තිබුන කෝපය නලියන ඇස්වල දීප්තියක් දරා ගැනීමට නොහැකි බවක් ජයමල්ට දැනුණි.
''මම උදේ පාන්දර නිදිමරාගෙන හදපු බත් එක. තමුසේ මාව බය කරන්න ඔය වගේ පහත් වැඩ කෙරැවට මම බය වෙන්නෑ. ආයේ මම තමුසෙට බත් හදල දෙන්නේ නෑ. අද ඉදන් කඩෙන් කනවා.''
මානෙල් ගේ කෝපය වචන වලට පරිවර්තනය වී ජයමල්ගේ දෙසවනට යකුලින් අනින්නට විය.
''අත් වැරැද්දක් වුණේ. මම හිතලා කළේ නෑ. පසුතැවීමේ ස්වරය ගැබ් වූ ජයමල්ගේ හඩ අබිබවා මානෙල්ගේ කටහඩ නොනැවතීම පිපිරෙන්නට වූවා.
''අත්වැරැද්ද? අනේ මම දන්නේ නැති මිනිහා, තමුසෙ මගෙන් පලිගන්ඩද ඔය හදන්නෙ''.
මානෙල්ගේ වචන වල තෙතමනයක් ගෑවිලාවත් නැත. තමා නොරැස්සන ස්වභාවය හොදින් වටහා ගත් ජයමල් නිවස පුරා රැව්පිලි රැව් දෙන මානෙල්ගේ කටහඩින් සවන් මුදවා ගැනීම සදහා මිදුලට පිය තැබුවේය. තරමක් නිහඩ ප්‍රතිපත්තියක් ඇති ජයමල් තම නිවස වෙන් වී ඇති තාප්පය දෙස බැලුවේ ඉබේටම මෙනි. සෑම දෙයක් ම හාරා අවුස්සා හැම කණකටම ගිනි තියන කාන්තාවක් වූ යසන්ති නෝනගේ දෙනෙත් තමා දෙසට යොමුවී ඇතිබව දුටුවෙන් මහත් අපහසුකාරී තත්වයකට පත් විය. එසැනින් ගෙට ඇතුළු වූ ජයමල් තවමත් පුපුරන්නට බලාගෙන සිටි මානෙල් අසලට වී සිට ගත්තේය.
''දැං ඉතිං කරැණාකර ඕක නවත්තනවා.''
එහි ගැබ්වූ බැරෑරැම් බව නිසාම දෝ මානෙල් ගේ පොපියන කට අවදි වූයේ නැත. නොරැස්නා බැල්මක් හෙලූ ඇය තම සිරැරේ බර සෝපාව මත තැබුවාය.
එසැනින්ම තම කාර්යාල බෑගය අතට ගත් ජයමල් ගරාජයට ගොස් කාරය පණ ගැන්වීය. යාන්ත්‍රික චලනයට මොහොතකට සවන් දුන් ඔහු තම අත තිබූ යමක් නැති වූ විට ඇති වන ආකාරයේ හැගීමක් දැනෙන්නට විය. තවමත් ආකූල ව්‍යාකූල මනස සන්සුන් කර ගැනීමට නොහැකි වුවත් ජයමල් එයට උත්සාහ ගත්තේය. ඒ සමගම පුතා කාරයට ගොඩවී නැති බව වැටහුනෙන් ආලින්දයට නෙත් යොමු කර වායුසමීකරණය ක්‍රියාත්මක කළේය.
''පුතා............... පුතා........................''
ජයමල් රථය තුල සිටම ආලින්දයට ටික වේලාවක් දෑස් යොමු කලත් පුතාගේ සේයාවකුදු දක්නට නොලැබුණි.
''පුතා............... අද කොලේජ් යන්නැද්ද?''
උස් ස්වරයකට මාරැ වූ ජයමල්ගේ හඩට පුතාගෙන් පිළිතුරක් හෝ නොමැති වූවා පමණක් නොව පාළු නිහඩ බවක් මුළු පරිසරයම වෙලාගෙන තිබිණි. කිසිදිනෙක තම රාජකාරියට ප්‍රමාද වී වාර්ථා නොකරන ජයමල්ට දැනටමත් පැයකට අධික කාලයක් ගතවී හමාර බව තම අත බැදි ඔරලෝසුව දෙස බැලූ ඔහුට පෙනුනි. වැඩට යාමේ අදහස අතහැර දමා ගෙල බැදි ටයි පටිය ඇද ගලවා ගත් ජයමල් බෑගය අතට ගෙන රථයෙන් බැස දොර තදින් වැසුවේ තමා කෙරෙහිම කණගාටුවක් ඇති වූ නිසාය.
''පුතා..................... පුතා..............''
විසල්ගේ හැලහොල්මනක් නැත. ජයමල් පුතාගේ කාමරයට එබී බැලුවද ඔහු එහිද පෙනෙන්නට සිටියේ නැත. උඩුමහලට නැග බැලුවද එහිද නැත. කුතුහලය මුසු හැගීමකින් නලියන්නට වූ ජයමල් තවමත් සෝපාව මත වැතිර සිටින බිරිද දෙස බැලුවද කිසිත් නොදොඩවා තම පියා සිටින කුස්සියට යාබදව ඇති කාමරය දෙසට පියනැගුවේ අචේතනිකවය.
දුගද හමන අදුරැ කාමරය තුල විසල් සුදට සුදේ බැබලෙන ආකාරය දුටු ජයමල්ගේ ඇස් උඩ ඉන්දවිය. තම පියා කාමරයට ඇතුල් වීමත් සමගම විසල්ටග් සිත යම් චංචල භාවයකට පත් වුවත් ඒ වන විටත් නහර වැල් ඉලිප්පී ගිය අජීවි බවට පත් වී ඇති අතැගිලි අතර සිරවී තිබූ තම අත ඉවත් කර ගැනිමට ඔහුගේ හිත ඉඩ දුන්නේ ද නැත.
''කිරි පුතේ............... ඉස්කෝලේ ......... ඇරැනම........... වෙල් ගානේ කොල්ලොත් ...........එක්ක .....දුවනවා එහෙම නෙවෙයි. විගහිං ........ ගෙදර දුවගෙන එන්න ඕනෑ.............''
ගොරහැඩි ඇගිලි තව තවත් විසල්ගේ අත ග්‍රහණය කරගනිමින් වචන පැටලි පැටලි පැවසුවද එය විසල්ට අවබෝධ කර ගත හැකිවිය.
''මම කිරි පුතා නෙමෙයි ආත්තේ. මම විසල්''
''බොරැ කියන්න එපා ........ කිරි පුතේ. මම දන්නවා............. උඹේ කපටිකම. ඔය අදත්.............. රෝන්දේ ගහන්න........ නේද....... උප්පරවැට්ටිය....... අද නම්........ පුතෝ......... මම පෙට්ටගමේ. හංගල තියෙන ....... වේවැල අතට ගන්නවා.''
වියලුන දෙතොල් මෑත් කොට සිනහවක් පෑවද එහි ජීවයක් හෝ හැඩයක් හෝ තිබුණේ නැත. සුදු පැහැ ගැන්වී තිබූ හිසකේ මෙන්ම මරණයේ කණ කොක් සුද ඔහුගේ මුළු සිරැර පුරා විහිදී තිබුණි.
අභාවයට යමින් පවතින මහළු වියත් ආලෝකමත් සුන්දර ළමා වියත් අතර ඇති පරතරය කාමරයට යාන්තම් එබෙමින් තිබූ හිරැ එළියත් යථාර්තවාදී ලෙස පෙන්වා දීමට ගත් උත්සාහයක් ලෙස ආලෝක තීරැ තීරැ පතිත වෙමින් තිබෙනු දැක ජයමල්ගේ කෝපය තාච්චියට දැමූ බටර් කැබැල්ලක් මෙන් දිය වී ගියේය. දිගු කලත් තම දෑසේ සැගවී සිටි කදුළු බිදුවක් කොපුල් තල දිගේ ගලා යන බවක් ජයමල්ට දැනුනද එය වැලැක්වීම සදහා ඔහු උත්සාහයක් ගත්තේ නැත. ''පුතා අද ඔයා කොලේජ් යන්න එපා. අාත්තා එක්කම ඉන්න.'' විසල් තම පියා සමග කුළුපග වී සිටින අයුරැ දුටු ජයමල් එසේ කියනවාත් සමග පියාගෙන් බැනුම් ඇසීමට බලාපොරොත්තුව සිටි විසල්ගේ මුවට සිනාවක් නැගුණි.
තිස්පස් වසරකට පෙර දුටු පියාත්, අද වැතිරී සිටින පියාත් අතර වෙනසක් නොදුටු ජයමල්ගේ සිතට යට ගියාව ආවර්ජනයට ආවේ නැතැතිනි. ඒ සොම්නස් සහගත සුන්දර අතීතයේ පියාගේ පසු පස ගාටමින් වෙල් ඉපනැල්ලේ දුව පැන්න කාලය අවුරැදු සමයේ පත්තු කරන නිලා කූරැ සේ මනසේ දැල් වී ආලෝක විහිදන්නට විය.
''ඔන්න කිරි පුතේ ඇඹිල්ල වගයක් මල්ලේ ඇති.''
''ඔව් මල්ලිට තමයි සේරම. එයා ඔක්කොම කනවා. අපට එකක්වත් දෙන්නේ නෑ''.
පියා වෙලට අඩුම කුඩුම දාගෙන යන මල්ලට අත දමා ජයමල් ඇඹිල්ල ටික ඔඩොක්කුවට දමා දිව යද්දී වැඩිමල් සහෝදරයා නෝක්කාඩු කියේ මූණ බාගෙට තැම්බුණ රොටියක් මෙන් කරගෙනය.''
''කිරි පුතේ අයියටත් ටිකක් දීපංකෝ''.
ජයමල් අහලකවත් නැත.
''අනේ අම්මපා උඹ වගේ කපටියෙක්. හොර ගෙඩියෙක්. ඒ ටිකට ජම්බු ගහ උඩ. හරි..... හරි.......... අයියට එපා. මම හෙට අයියට ගෙනත් දෙන්නම්. උඹ පරිස්සමෙන් බැහැපං.''
''එහෙම බෑ. මටත් හෙට ගෙනත් දෙනවා කිව්වොත් විතරයි මම බහින්නේ.''
තාත්තාගේ වචනය ගන්නකම් ජයමල් ගහ උඩය.
''විසල් ලෑස්ති වෙනවා මම එක්ක යන්නම්.'' මානෙල්ගේ හඩින් තමාගේ සිහින ජීවිතය බිදී විසිරී ගියේ ජයමල් යථා ස්වභාවයට පත් කරමිනි.
''අනේ ........ අම්මා...''
විසල්ගේ අතින් ඇදීමට බිරිද වෙහෙස ගනිමින් සිටි ආකාරය දුටු ජයමල්ට වෙනදා නැති නැවුම් ප්‍රාණවත් ප්‍රබෝධයක් ගත පුරා දිව යන අයුරැ දැනෙන්නට විය.
''නෑ. පුතා ඔහොම හිටපුදෙන්''.
විසල්ගේ අත මානෙල්ගේ අතින් මුදවාගත් ඔහු පුතාට සිතු සේ ඉන්නට ඉඩ හැරියේය.
''මට මොකෝ ඕනැ කුදයක් ගහගන්නැතෑ.''
''මින් පස්සේ තාත්තා කොහේවත් යවන්නෑ. මට පුළුවන් විදියට මම සලකනවා. කවුරැත් නොබැලුවාට කමක් නැහැ. මගේ තාත්තා ගැන මම බලාගන්නම්''.
තමාට ගස්සාගෙන යන බිරිද දෙස නොබලාම ජයමල් හිස් අවකාශයට එම වචන ටික මුදා හැරියේ තමා කෙරෙහි මහත් ආත්ම ශක්තියක් ගොඩනගා ගනිමින්ය.