01. නැවත සසුන් මග පිරිසිදු වෙන්නේ
ලොවට සෙතට රහතුන් වඩිමින්නේ
පිනට අපට මහ මිහිදු නමින්නේ
අරහත් මාහිමියන් වැඩමන්නේ
02. තිස්ස නිරිදු රජ කරනා කාලේ
මිස්සක පව්වට වඩිනා වේලේ
ලස්සන රැව ඇති සදහම් මාලේ
තිස්ස රජුට ලැබුණා ඒ කාලේ
03. සත්ගුණ ඇති හිමි දහම් දෙසන්නේ
ඇති පියවර උපමාවට ගන්නේ
සෙත් සලසන තුන් සරණ ලැබෙන්නේ
තිස්ස නිරිදු තෙරැවන් නමදින්නේ
04. දම් රජුගේ බුදු බණ අසමින්නේ
සංසාරේ දුක ගැන වැටහෙන්නේ
නම්මාගෙන සිත සිල් සුරකින්නේ
ළං වී ගෞතම සසුනට එන්නේ
05. අරිට්ඨ ඇමතිගෙ සිත පහදිනවා
පන්සියයක් කුමරැන් එක්වෙනවා
පින් පල දෙන යුගයක් මතුවෙනවා
ගෞතම සසුනේ පිහිට ලබනවා
06. පන්සියයක් ලක් පුතුන් සැදෙන්නේ
තුන් සිවුරෙන් ගත පොරවා ගන්නේ
සන්සුන් ලෙස නිවනට යොමු වෙන්නේ
ගෞතම බුදු සසුනයි බබලන්නේ
07. සගමිත් තෙරණිය මෙහි වඩිමින්නේ
ජය සිරි මහ බෝධිය සමගින්නේ
පන්සියයක් අගනන් එක්වෙන්නේ
ගෞතම සසුනේ පිහිට ලබන්නේ
08. සිරිලක අගනන්ගේ සිත පහදා
බුදු සසුනේ පැවිදිව සෙත් සාදා
දුරැ කරමින් කතුනට ඇති බාධා
සරිලක බබලයි විලසින් පෝදා
09. ගෞතම මුනිදුගෙ ධාතු ලැබෙනවා
එය වට කොට දාගැබක් තනනවා
ථූපාරාමය ලෙස නමදිනවා
සිරි ලක ගෞතම සසුන දිලෙනවා
10. අනුබුදු මාහිමි පෙරට වඩිනවා
බුදු සසුනට සග පිරිස සැදෙනවා
දහම විනය මැනැවින් පිහිටනවා
ථූපාරාමෙන් රැස් විහිදෙනවා
01. දිනක් මිහිදු හිමි මෙහි වඩිමින්නේ
දනක් උසට මල් මිටි පුදමින්නේ
පිනක් කරන නිරිදුන් කැදවන්නේ
මැණික් පිරැණු බිම ගැන පවසන්නේ
02. රජුනි ඔබට මුණුබුරෙක් ලැබෙනවා
නමින් ගාමිණී අභය කියනවා
මහ පින් ඇති ඔහු මෙහි රජ වෙනවා
එකලට ගෞතම සසුන දිලෙනවා
03. සිරිලක එක්සේසත් කරවන්නේ
මෙන්න මෙතැන මහසෑය කරන්නේ
ද්‍රෝණක් මුනි ධාතුන් පිහිටන්නේ
ගෞතම බුදු සසුනයි බබලන්නේ
04. තිස්ස නිරිදු සතුටින් ඉපිලෙනවා
දෑත නළලෙ බැද සාදු කියනවා
එය සිහි කොට කුළුනක් තනවනවා
මහ සෑයට බිම් කොටස තබනවා
05. කවන්තස් නම් රජු රජ වෙනවා
කැළණි රජුගෙ දූ කුමරි ලැබෙනවා
විහාර මහ දේවයයි කියනවා
පින් ඇති බිලිදෙකු පතා සිටිනවා
06. එළාර නම් රජු මහි පැමිණෙන්නේ
ලබා සෙනග දඹදිවින් ගෙනෙන්නේ
බලා සිටින විට රට පිරිහෙන්නේ
අවාසනාවේ යුගයකි එන්නේ
07. රැහුණට කාවන්තිස් රජු යන්නේ
නුහුරට යන සතුරන් රජ වෙන්නේ
බුදු සසුනයි රැක ගත යුතු වන්නේ
විහාර මහ දේවිය ලතැවෙන්නේ 08. පුත් කුමරෙකු නැති දුකින් තැවෙන්නේ
සග රැවනට දන් පැනින් පුදන්නේ
සසුන රකින දරැවෙකුයි පතන්නේ
සිල් ගුණ දම් රැක පින් කර ගන්නේ
(පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)
(පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)


No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා