Monday, June 20, 2016

සංගීත මේලාව

ජනෙල් වීදුරැ අතරින් සමාන්තරව ඇහැට වදින හිරැ කිරණ පටිවලින් බේරෙන්න සමීර අනිත් ඇලයට හැරැණේය. නින්දත් නොනින්දත් අතර තිබූ ඔහුගේ සිරැර හෝරාවක් පමණ එලෙස වැතිර තිබුණි. ඒ අතරතුර ගායකයාගේ සිංදුවට වේදිකාව උඩ අඩනිරැවත් නාටකාංගනාවියන්ගේ රැගුම් නරඹන්නට විය. ඔවුන්ගේ බාගෙට වැසුනු දෙතන, කලවා දක්වා නිරැවත්ව පෙනුන සිහිනිග ගස්සන ආකාරය තමා දෙසම බලාසිටින සේ දක්නට ලැබුණි. වෛවර්ණ ආලෝකය විහිදුවන කාන්තිමත් දෙනෙත් මේ දැන් තමාගේ ඉදිරියේ ජීවමානව සිටිනවා මෙනි.නමුත් එම දර්ශනය එක දිගට නැරඹීමට නොහැකි විය. පෙරදින රාත්‍රී ආහාරය නොගත් බව සිහිවූයෙන් ඔහුට තදබල බඩගින්නක් දැනෙන්නට විය. වතුර වීදුරැවක්ම පානය කලත්  ඔහුගේ පිපාසය සංසිදුනේ නැත. වටපිට බැලූ ඔහු ඒ වනවිටත් ඇල් වී තිබූ තේ කෝප්පයද එක හුස්මට බීගෙන ගියේය. පසුව කුස්සියට වැදුනු ඔහු මිරිස් හොද්දේ කාටුවට හීල් බත් දංකුඩය දමාගෙන හට්ටිපල්ලේ කිසිත් ඉතිරි නොවීමට වගබලා ගත්තේය.

තිලකා නැන්දලාගේ බෝඩිමේ එකියක් කුඩය කරකවා කරකවා කොහේදෝ යයි. සුලග සමග මුසුවී හමාගෙන ආ  විලවුන් සුවද සමීරගේ නාස් පුඩු තුලට කා වැදුනේය. කොයි ලෝකේ දීපංකරේ යනවද මංදා සිතූ ඔහු ළිං කංඩියේ එල්ලා ඇති කණ්නාඩියට මුහුණු එබුවේය. මුහුණ ඉදිමී තිබුණාට අමතරව කහපාටින් මෝදු වුණු කුරැළෑ ගෙඩි මුහුණ පුරා විසිරී අැත. මුහුණ අතගෑමේදී අතට අහුවුණ රැවුල් කොට ගැන නොසිතූ ඔහු දෑතින් කොණ්ඩය පීරාගෙන මුහුණ සේදීමට පටන් ගත්තේය.

මුහුණ සේදීමට ඔහුට විනාඩි තුනකට වඩා ගතවූයේ නැත. තෙත තුවාය ඉන දවටා ගනිමින් සමීර කාමරයට ඇතුලු  විය. වේලාව දහයට පමණ ඇත. අම්මා ද ගෙදර නැත. බාගෙට හිස්වූ මෙන්ඩිස් චුට්ටා මුල්ලක සිට තමාදෙස බලා සිටින සේය. දැවුණු සිගරැට් කොට කාමරය පුරා විසිරී ඇත. දෙතුන් දෙනෙක් පොර බැදූ ආකාරයට නිදන ඇද හැඩිවී තිබුණ අතර එහි පුස් ගද නාසයට දරාගත නොහැකි තරම්ය. කලින් දින ගලවා දැමූ කලිසම ඇද විට්ටම උඩ අපිලිවෙළකට වැටී ඇත. කලිසම අතට ගෙන ගසා දැමූ සමීර බරට බරේ පිම්බී ඇති පොකට්ටුව ගෙන එහි ඇති මුදල් ගැන බැලුවේය. මාරැ කාසි සියල්ලේ එකතුව රැපියල් විසි අටකි. සංගීත මේලාවට ඇතුලුවීමේ අඩුම ටිකට් එක රැපියල් සියයකි. තේ එකක් බොන්න, සිගරැට් බොන්න අඩුම තරමේ තවත් දෙතුන් සියයක් තිබිය යුතුය.

අතමාරැවකින් හෝ මුදල් ලබා ගැනීමට සිත යොමු වෙද්දී ඔහුගේ ඔලුවට දනුෂ්ක ඇතුලු විය. එළවලු පුරවා ගත් ෂොපින් කවරයක් අතැතිව මව ගෙයි ඉස්තෝප්පුවට ගොඩවෙනු සමීරගේ නෙත ගැටිණි. මව ඇසූ ප්‍රශ්න ගැන හෝ තමා ඊට දුන් පිළිතුරැ ගැන හෝ සමීරට හැගීමක් නොවිනි.

යතුරැ පැදියට ගොඩවූ සමීර ඊයක වේගයෙන් ඉගිලී ගියේය. අක්කර පනහ හන්දියේ සිට කිඹුලාපිටිය පාරට පිවිසුණු ඔහු දනුෂ්කගේ නිවස ඉලක්ක කරගෙන තවත් වේගය වැඩි කළේය. සුළගට දෙනෙත ගැටීම නිසා කදුලු කැට විසුරැණත් සීතල ගතියක් දැනීමෙන් සමීරට දැනුනේ සැහැල්ලුවකි.

දනුෂ්ක මාලු ටැංකියේ වතුර ඉවත් කරයි. ප්ලාස්ටික් බේසමක රතු, කහ, නිල් පාටට ගුලියක් නලියයි. ටැංකි සුදා ටැංකියට ඔරොත්තු නොදෙන සේ වැඩී ඇත. බොර පැහැ වුණු වතුර කලත්තා ගල්මල් ටික දැමූ දනුෂ්ක හෙමින් සීරැවේ බිමට තබා මිතුරා දෙස බැලුවේය.

''මම හිතන්නේ සංගීතය තව සුමානයක් විතර තියෙයි. සෙනග ෂූ ගාලනේ.''

''මටත් ආරංචියි.''

''ඊයේ සංගීත කණ්ඩායම් දෙකක් ප්ලේ කළා. කෙල්ලෝ කොල්ලෝ නටපු නැටිල්ලට දූවිල්ල මීදුම වාගේ.''

''නෑ....''

''හැමතැනම සෙට් බැහැලා. ඒ වුනාට මට කිට්ටු කරන්න එකකුටවත් බැරි වුණා.''

දනුෂ්ක සමීරගේ මුහුණු දෙස බලා සිටියා පමණි.

''මගේ ස්ටයිල් එක දාන්න කට්ටියම පොරේ. අම්මපා එකෙක් ලාවටවත් දැම්මේ නෑ.''

කටින් පමණක් නොව අත්, ඇස්, මුහුණද නටවමින් සමීර කියාගෙන යයි.

''දවස ගානේ ගියත් ඒ වගේ ආතල් එකක් ගන්න බැහැ. සල්ලි තමයි ඉතිං.''

''සල්ලි දෙවියන්ගේ මල්ලිග කියලා වැඩක් නෑ.''

''ඒක නම් ඇත්ත. ඒයේ මීගමු ගියෙත් නංගිට දඩයක් දාලා. අතේ සතේ නෑ.''

''මමත් එහෙමයි හන්ටර්''

සමීර හුඩ් එකේ ආධාරකයට බර දුන්නේය. බිම ඉදගෙන සිටින දනුෂ්කගේ පිටේ වැවී ඇති රෝම කූප අස්වාභාවික ගතියක් පෙන්නුම් කරයි. ඔහුද ඇද සිටින කොට කලිසම යට ඇදුමේ බාගයක් නිරාවරණය කර ඇත. ටැංකියේ බැද ඇති දිය සෙවල සිංහරාජයේ සිතුවමක් සේ දිස්වේ.

අපි සිටියේ ස්ටේජ් එක ලගමයි. කෙල්ලෝ ටිකක් නටනවා කියන්න වචන නෑ. උන් එක්ක මට කතා කරන්නත් පුලුවන් වුනා. එකියක් ඉන්නවා මෙන්න.''

සමීර දකුණු අතේ මාපට ඇගිල්ල ඉහළට ඔසවා අනෙක් ඇගිලි නවා පෙන්වීය.

''මටත් යන්න හිතෙනවා.''

දනුෂ්ක තමාගේ කාමරය අරිනවාත් සමගම සිගරැට් දුම මුසුවූ අප්‍රසන්න ගදට ඔහු ඇතුලු වුයේ නාසය වසාගෙනය. තම යාලුවාගේ කාමරය තමාගේ කාමරයට නොදෙවනි බව බැලූ බැල්මට සමීරට හැගිී ගියේය. ගිනිකූරැ,  චප්ප වූ සිගරැට් කොට, ගුලිකර දමා තිබූ කඩදාසි ගුලි, යකා නැටූ සොහොන් පිට්ටනියක් ද පරයා යන්නේය. විද දරාගැනීමට නොහැකි වූයේ තෙමුණු සපත්තු වලින් එන හම් ගදය.

''ඉතුරැවා නැද්ද''

තම මිතුරාගේ කාමරය වටා දෑස් යවමින් සමීර ඇසුවේය.

''මේක පත්තු කරපං. එකයි තියෙන්නේ.''

දනුෂ්ක ඇදේ වාඩි වී බිත්තියට හේත්තු වී මේසය උඩින් සිගරැට් පැකට් එක ගෙන සමීර අතට දුන්නේය. පසුව ඇද යටින් කාලක් පමණ ඉතිරි වූ බෝතලය ගෙන ඇද යටින් වීදුරැවක් ද සොයා ගත්තේය.

ඉසුරැමුණි පෙම් යුවල දැකීමෙන් නොලැබෙන ශෘංගාරාත්මක හැගීමක් ජනිත කිරීමේ සමත් අඩ නිරැවත් හන්දි නිලියක් සහ නලුවෙක් තුරැලු වී සිටින මහා පරිමාණ පිංතූරයක් දනුෂ්කගේ කාමර බිත්තියේ පදාසයක්ම වසාගෙන සිටින අයුරැ කාමරය පුරා පැතිරැණු දුම අතරින් සමීරට පෙනුණි. නලුවාගේ අතේද දුම්වැටියක් පත්තුවී තිබිණි.

''ගමනක් යන්න තියෙනවා හෙට.''

දනුෂ්ක නිදහස්ව කීවේය.

''කොහේද?''

කුතුහලයෙන් මොහොතක් දනුෂ්කගේ මුහුණ දෙස බලා සිටි සමීර ඇසුවේය.

''ලේසි නෑ ලක්ෂ හතරක් ඕනා මුලින්ම. අනික විස්වාසවන්ත කමටයි, අදුනන කමටයි චාන්ස් එක මටත් ලැබුනේ.''

උගුරැ දෙක තුනක් ඇද රත්වූ  සිගරැට් කොටය තම මිතුරාට දෙන ගමන් දනුෂ්ක පැවසුවේය.

''අනික බෝට්ටුවෙන් යන්න ඕනා.  එහෙදි තමයි වීසා එක ලැබෙන්නේ. අවුරැදු දෙකක් හිටියොත් ගොඩ.''

දහ අතේ ණය වී ඉන්න ඉඩම පවා උගස් කොට ඉතාලියට ගිය සනාගේ රෑපය සමීරගේ සිහියට නැගුණි.

''මචං සනත් ඉතාලියට පැන්නේ.''

''බෝඩර් එක පනින්න බැරිවෙලා.''

''කන්ටේනර් ඒකේ හතලිහක් ඉදලා.''

ඒ මතකය මේ දැන් වුණා වගේ. සනා පිටත්වීමට පෙර තම ගෙදරට ආපු හැටි ...... ඒ දුක්බර සමුගැනීම ...... දවත් දහහතරක් මහ මූදේ රැල්ලත් එක්ක ගත කළ කාලය.......... හොරෙන් ගොඩ බිමට බැහැපු ආකාරය... කන්ටේනර් එක ඇතුලේ සත්තු වගේ ගාල් වී එකට පනින්න ගිය හැටි...... පත්තර සිරස්තල වල පොල් ගෙඩි අකුරෙන් විස්තරේ දාපු හැටි......... අන්තිමේදි මිනියක් නැතුව මතක වස්ත්‍ර පූජා කරපු ආකාරය. හිස් මුදුනටම පොල් ගෙඩියක් වැටුණු ආකාරයට තිගැස්සී සමීරගේ සිහිනය බිදී ගියේය.

''මොකද එක පාරටම.''

සමීර කාරම් රදවනය (ෆිල්ටරය) දක්වාම උරා බී සිගරැට් එක බිම දමා පෑගුවේය.

''ඇයි''

''නැහැ''

''කෝ පියුමි''

මොහොතක් නිහඩ වුණු සමීර දවෙන් තොල් වල තෙත මාත්තු කළේය.

''ඒවා ඔක්කොම ඉවරයි.''

සමීර ආපසු යාමට වීදුරැවේ ඉතිරි අඩද කටට හලා ගත්තේය. මකුලු දැලක පැටලුනු ඉපියෙක් බේරීමට වෙර දැරීය. දනුෂ්ක හිස් කාමරයේ උලු ගනින්නට විය.

''උඹ යන්නද''

''ඔව්''

දනුෂ්කගේ කාමරයේ දොර ඇරගත් සමීර කඩිමුඩියේම යතුරැ පැදියට ගොඩවිය.

සුලග කපාගෙන යතුරැ පැදිය වේගයෙන් ඇදෙයි. ඒ වේගයටත් වඩා වේගයෙන් සමීරගේ සිතුවිලි ගමන් කිරීමට පටන් ගත්තේය. සංගීත කණ්ඩායමේ ස්වරයන්ට අනුව පාද චලනය කරන නැටුම් කණ්ඩායම, නිරැවත් කලවා බාගෙට වැසුණු දෙතන, සරාගී බැලුම්, උන්මාදනීය හැගුම් ජනිත කරමින් ඔහුගේ මනසේ සී.ඩී. තැටියකට සමානව තැන්පත් වෙමින් සිටී. කෙල්ලෝ කොල්ලෝ නටන රිද්මයටම යතුරැ පැදියද නටන්නට පටන් ගත්තාක් මෙනි. ඉදිරියේ තිබූ වංගුවට යතුරැපැදිය ඇදී ගියේ තව තවත් වේගය වැඩි කරමින්ය.

කාර් එකක රතු පාටත්, රාස්සිගේ අව්ව වැටී ඉදිරි පස වීදුරැව සිලිසුනු අයුරැත් සමීරගේ සිතුවම් පෙලේ අවසානය සටහන් විය.


සමාප්තයි......

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...