ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හරිම විශ්මිතයි. ඒ විශ්මිත ප්‍රඥාවෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට නිවන් මග පෙන්නා දෙන ආකාරයත් විශ්මිතයි. ඒ නිවන් මග පිණිස අවබෝධය ඇතිකර ගත යුතු ආකාරය විවිධ කෝණ වලින් විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්.
ඉති අද අපි ඉගෙන ගන්නේ එබදු ලස්සන විග්‍රහයක් ඇතුලත් දෙසුමක්. මේ දේශනාවේ නම " ඉන්ද්‍රිය භාවනා සූත්‍රය". මේ සූත්‍රය සදහන් වන්නේ මජ්ඣිම නිකායේ තුන්වන කොටසටයි. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ, 'කජංගලා' කියන නගරයේ 'මුඛේලු' කියන වනන්තරේ.
එදා පරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලයෙකු වන උත්තර කියලා තරැණයෙක් බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමිචියේ යෙදෙන්නට පසෙකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ තරැණයාගෙන් අහනවා,
'' උත්තර තරැණය, පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රවකයන්ට ඉන්ද්‍රය භාවනාව ගැන දේශනා කරනවා නේද?''
මෙතැන ඉන්ද්‍රය භාවනාව කියලා ඇසුවේ ඇස, කණ, නාසය, දිව, කය, මනස මුල් කරගෙන ගුණයක් වර්ධනය වීම ගැන දේශනා කරනවාද කියලයි.
''භාග්‍යවතුන් වහන්ස, ඒක හරි පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයින්ට මේ ඉන්ද්‍රයන්ගෙන් ගුණයක් වර්ධනය කරගැනීම ගැන දේශනා කරනවා.''
''උත්තර, ඉතින් පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයින්ට මේ ඉන්ද්‍රය භාවනාව දේශනා කරන්නේ මොන විදියටද?''
"භාග්‍යවතුන් වහන්ස, කෙනෙක් ඇසෙන් රෑප දක්න්නේ නැත්නම්, ඒවගේම කණෙන් ශබ්ද අහන්නේ නැත්නම්, එන්න එයා ඉන්ද්‍රය භාවනාවෙන් යුක්ත කෙනෙක් කියලයි පාරාසරය බ්‍රාහ්මණයා කියන්නේ.''
''උත්තර, එතකොට හරි වැඩක්නේ, එහෙම නම් කෙනෙකුට ඇස් පේන්නේ නැත්නම් එයා ඉන්ද්‍රය භාවනාවෙන් යුක්තයි. යමෙකුට කණ් ඇහෙන්නේ නැත්නම් ඔය කියන ආකාරයට එයත් ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්තයි. (අන්ධෝ හි උත්තර චක්ඛුනා රෑපං න පස්සති) උත්තරය, ඇස් පෙනෙන්නේ නැත්නම් අන්ධ කෙනා ඇසින් රෑප දක්න්නේ නැහැනේ. (ඛධිරෝ සෝතේන සද්දං න සුණාති) බිහිරි කෙනා කණෙන් ශබ්ද අහනනේ නෑනේ. ඉතින් එහෙම නම් ඒ ඇත්තන්ගේ ඉන්ද්‍රියන් වැඩිලා.''
මෙහෙම පිළිතුරැ දුන්නාම උත්තර කියන මේ තරැණයාට උත්තර නැතුව ගියා. මේ විදියට නිශ්ශබ්දව, ඔලුව යටට හරවගෙන, කර කියා ගන්න දෙයක් නැතුව, වැටහීමකින් තොරව වාසය කරන උත්තර දිහා බලලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතුවා.
ආනන්දය, බලන්න මේ පාරිසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයින්ට ඉන්ද්‍රිය භාවනාව කියන හැටි. නමුත් ආනන්දය, මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ වෙන එකක්නේ.''
පින්වත්නි, ආනන්ද ස්වමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථාන කරන්න පතාගෙන ආපු කෙනා. ඒ අවස්ථාව ආපු ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා, දැන් ධර්මය අහන්න අවස්ථාව මතුවෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා.
''ආනන්දය, දැන් බලන්න පාරාසරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව ගැන කියන්නේ අමුතු විදියට. නමුත් බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ වෙන විදියට.''
එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා,
''(ඒතස්ස භගවා කාලෝ) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. (ඒතස්ස සුගතෝ කාලෝ) සුගතයාණෙනි මේ එයට කාලයයි. (යං භගවා අරියස්ස විනයේ අනුත්තරං ඉන්ද්‍රියභාවනං දේසෙය්‍ය) භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදු සසුන තුල, (ආර්ය විනය කිව්වේ බුද්ධ ශාසනයට) ඉන්ද්‍රිය භාවනාව පිණිස යමක් දේශනා කරන සේක්ද, (භගවතෝ සුත්වා භික්ඛු ධාරෙස්සන්තී'ති) භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා මේ භික්ෂුන් වහන්සේලා මතක තබා ගනීවි.''
''එහෙම නම් ආනන්දය, අහගන්න. මම කියා දෙන්නම්. මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රය භාවනාව තියෙන්නේ කොහොමද?''
මේ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයා, නුවණ විමසා, සිහිය නුවණ වර්ධනය කරගෙන යද්දී, ඔහු තුල යම් යම් ගුණ ධර්මයන් ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන දේවල් අතර විශේෂ දෙයක් තමයි සිහිය. ඒ වාගේම වීරිය ගොඩනැගෙනවා. ඊලගට නුවණ ගොඩනැගෙනවා. එතකොට සිහිය, වීරිය, නුවණ ගොඩනැගිලා තියෙන කොට ඒ භික්ෂුවට තියෙන්නේ ඉන්ද්‍රියන් තුල ගුණ ධර්මයන්ගේ වැඩීමක්.
(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුසුමක විමසුම, නිවනක ඇරඹුම කෘතියෙන්)