Monday, May 2, 2016

ගගට උඩින් ...........

ගෙට යාබදව තිබුණු වතුපාළු කෙසෙල් පදුරේ බාගෙට ඉදුණු කැන කෑමට පොරකන වවුලන්ගේ තටු ගසන බස බස හඩින්  තොටී අයියා තිගැස්සී දෑස් ඇරියේය. ‘‘කාලකණ්නි සත්තු‘‘ යැයි තමාට මුමුණමින් ඔහු සාලය මැදින් කුස්සි කෑල්ලට පිය නැගුවේ වතුර ටිකක් බීමටය. රෑ දවසම නින්දත් නොනින්දත් අතර සිටි ඔහුගේ මනසට වද දුන් සිතුවිලි දහරාවෙන් බඩ පපුව පිච්චී වේලුම් ගතියක් දැනුන බැවින් වතුර කෝප්පයක්ම එක හුස්මට බීමෙන් පසු කුස්සිය ආවරණය කර තිබූ දොර පළුව ඉවත් කර එළියට බැස්සේය. සවස් කාලයේ සිට අලුගොඩක් විසිකර දැමුවා සේ මුදුන් වූ වැහි වළාකුළු තවමත් එසේමය. එය හරියටම සුදු මදින ලද බිත්තියකට නැවතත් බදාම ගෑ සේ දිස්විය. පුර අටවක දිනයක් වුවත් එක වකක සදේ කෑල්ලක් තියා හෝ තරැවක් හෝ දිස් නොවිණි. හිමිදිරි හෝරාව ළං වී අැති බව ඔහුට වැටහුණත් මෙදින නම් අඩුම තරමේ පහන් ආලෝකයක සේයාවකුදු දක්නට නැත.

‘‘තාමත් එළියේද? දොර වහල දාලා ගෙට එනවා, පීනස් අමාරැව හදාගන්නෙ නැතුව‘‘.

ඔහුගේ බිරිද නිදිමත ගතියෙන් කෙදිරෑ හඩ ඔහුට ඇසුණේ යාන්තමිනි. කටුනායක ගුවන් තොටුපලට කොටි පහර දීමට පැමිණි අවස්ථාවේ මුළු ප්‍රදේශයේම විදුලිය විසන්ධි කළා සේ මුළු අහසම ඇට අන්ධකාරයක ගිල්වා දමා නැගෙනහිර පැත්තේ බොහෝ ඈතින් නැගුණ ගෙරවුම් හඩකින් ඔහුගේ දෙසවන කම්පනය කළේය. ඒ සමගම උගුරැස්ස ගෙඩි තරම් විශාල වැහි බිංදු වලින් ඔහුගේ හිස් මුදුනටම ටොකු අනින්නට පටන් ගත් බැවින්  ක්ෂණිකයෙන් දොර පළුව වසාදැමුවේය. වසාලූ දොර දෙස නිමේෂයක් බලා සිටි ඔහු තද සුළග ඇද හැලෙන අනෝරා වැස්ස මෙන්ම මනස් කුහරය තුලට කා වදින සිතුවිලි පොදියෙන් හෙම්බත් වීම නිසා ගෙතුලට පිය මනින්නට සිතුණි.

‘‘නිදාගන්න දෙයියනේ ඔය මනස්ගාත හිතින් අයින් කරලා‘‘

මෙවර නම් බිරිදගේ ස්වරය ටිකක් උසු වූ බැවින් පා හඩ නොනැගෙන සේ හීන් සීරැවේ කාමරය තුලට පිවිසි ඔහු යන දෙස නෙත් හෙළුවේ සිය බැල්මෙන් පවා එහි වූවන්ට හිරිහැර වේ දෝයි බියෙන් මෙනි. නමුත් ලිප තැබූ කේතලයෙන් වතුර පැහි පැහී බුබුළු දමමින් මුව විටින් උතුරා යන්නට ලංවෙන අයුරැ ඔහුගේ සිතට දැනෙයි. ලවක් දෙවක් නැතිව යුද්ධයකදී දමා ගසන බෝම්බ මෙන් අකුණු පිපිරෙයි. අහස ගොරවන්නේ කේසර සිංහ රාජයෙකු විලසිනි. 

‘‘ගෙදර කෑමට බීමට පමණක් මසකට රැපියල් හත් අටදාහක් ඕනෙ. මාසයෙන් මාසේ ඉහළ නගින චූටි දුවගේ ටියුෂන් ගාස්තු. ඒ මදිවට රැකියාවක් සෙවීම  රැකියාවක් කර ගත් වැඩිමහල් පුතාගේ ගමන් වියදම් සපයාදීම. මේ සියලු වියදම් දැන් දරන්නේ කොහොමද?‘‘ ඇදේ උඩුකුරැව වැතිරැණු තොටී අයියාගේ කල්පනාවට එන්නේම මේ අන්තෝ ජටා බහි ජටා ප්‍රශ්න වැලමය.

‘‘තේ එකක් හදන්නද?‘‘ බිරිද කුස්සියේ සිට ඔහුගෙන් හඩගා ඇසීමත් සමගම මනෝකායෙන් මිදුනු ඔහු පියවි සිහියට එළඹිණි.

‘‘හොදයි ඉගුරැ කෑල්ලක් එක්ක.‘‘

කොහේ තියෙන ඉගුරැද මනුස්සයෝ‘‘

‘‘එහෙනං ඉගුරැ එපා‘‘

වැස්ස යන්තමට තුරල් කර ඇති බව ඔහුට වැටහුණේ ඇදේ හිදගත් පසුවයි. සමනල ගල තමාගේ දෙවුරට පටවා ඇති සේ බරක් දැනුනත් තම බිරිද වගේ වගක් නැති ගානට ඉන්න පුළුවන් වීම ගැන ඔහුට ඇත්තේ ලොකු පුදුමයකි. ගෑනුන්ගේ නුවණ හැදි මිටට උපමා කිරීම හදිසියේ මතක් වූ තොටි අයියාට තම බිරිද ගැන සිතුණු හැගීම ගැන කණගාටුවක් ද ඇති විය. දින වකවානුවක් කිව නොහැකි පරම්පරාවෙන් තමාට උරැම වූ එකම වස්තුව බවට පත්වී ඇති වේවැල් වෙනුවට තමා අතින්ම වියපු ලනු ඇද පිළිසකර කර ගත් මහලු හාන්සි පුටුවට ඔහු ඇදෙන් බැස මාරැ විය.

වෙනදා නම් කාක්කා, කුරැල්ලා හඩලන්නට කලින් ඔහු රාජකාරියට ගෙදරින් පිටවී හමාරය. නමුත් අද නිශ්චිත අරමුණක් ඇතිව කිසිවක් කර සිතා ගැනීමට නොහැකි වූ බැවින් කකුල් දෙකම පුටුව උඩට ගෙන දෑස් පියා ගත්තේ හිරි වැටී ඇති ඔළුවට මොහොතක් හෝ සැනසීමක් ලබා ගැනීමේ චේතනාව ඇතිවය. 

‘‘ඔල්මාදෙ හැදීගෙන එනවද මන්දා මේ මනුස්සයට. රෑ තුන්පැයේ නැගිටගෙන දැගලුවා. දැන් පුටුව උඩට වෙලා භාවනා කරනවා‘‘.

බිරිද තේ කෝප්පය ගෙනවිත් ඔහුට පිළිගැන්වූයේ එසේ කියමිනි. අනෙක් දවස් වල ටිකක් නිමෙන්නට හැර තේ එක බොන තොටී අයියා උණු උණුවේ බිරිද දුන් තේ එක, එක් හුස්මට ගිල දැම්මේ ලෝදිය හැලියක්  වුවත් අද නම් තම උගුර කටට ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශ කරන අයුරිණි.

හූ සද්දයක මානේ දුරක ඇති මුතු වාඩිය රද්දොළුව පාරේ බර වාහන පෙලක්ම වේගයෙන් දිවෙන හඩ ඔහුට ඇසිණි. ඒ හඩ සියලු බලාපොරොත්තු අනාගත අපේක්ෂාවන් පොඩිපට්ටම් කරගෙන යනවා පමණක් නොව තමාගේ ශරීර කූඩුවද පොඩි පට්ටම් කරගෙන යන වේදනාවක් ඔහුට දැනිනි. ඒ වේදනා දුක ක්‍රෝධය හෝ වෛරයක් නැති අමුතුම හැගිම් මුසු වී ඇති එකක් වීම ඔහුටද වටහා ගත නොහැකි විය.

ඔහුගේ අවබෝධයට අනුව තමාගේ ජීවිතයම සෝදා පාළුවට ලක්කරමින් ඇදවැටුණු වැස්ස සම්පූර්ණයෙන්ම නතර වී ඇති වග තොටී අයියාට පරිසරයේ නිහඩතාවයෙන් හැගී ගියේය. නුඹ ගැබ ලා රතු පාටින් සිත්තම් කරමින් ඉරමල පිපී ඇත. කරන්නට කිසිත් නැති මූසල කම්මැලි කමක් මුළු ගතම දවටාගෙන ඇති සෙයකි. දෑත පිටුපසට බැදගෙන මිදුලේ එහාට මෙහාට කිහිපවතාවක් සක්මන් කළ ඔහුට මිදුලේ සරැවට වැවී ඇති බැල තණ පදුරැ තමා පත්වී ඇති අසරණ භාවය දැක සිනාසෙනවා දෝයි සිතුණි.

‘‘දෙයියනේ, මේ මනුස්සයාට නම් පිස්සුම තමයි. රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්නේ නැතුව ගේ ඇතුලට වෙලා ඉන්නවා‘‘.

තම බිරිද දෙස රවා බැලුවත් කටින් කිසිත් නොකී තොටී අයියා තවදුරටත් මේ ගෙදර සිටීම තමාගේ රතු කට්ට පනින බව සිකුරැ නිසා තම හිත මිතුරා වන ආරියසේන අයියලාගේ ගෙවල් පැත්තේ යාමට තීරණය කොට මුහුණු කට සෝදා ගත්තේය. ඊට පසු තම ජීවිතය තරමට වයසක් ඇති හම්බර් වර්ගයේ පා පැදිය පරික්ෂා කර බලා බිරිදට පවා යන දිසාව නොකියා මුතුවාඩිය පාලම අසල ඇති තම හිතවතාගේ නිවස බලා පිටත් විය. කවදාවත් නැති පරිදි මුතුවාඩිය රද්දොළුව පාර පිරැණු ගතියක් ඔහුට දිස්විය. එහෙත් චණ්ඩව කැළඹෙන ගල්පර මැද අසරණව අතරමංව සිතුම් සාගරයක ඔහු ගිලී ගියේය. සිය ආදරණීය පියා සමග ඔරැවේ නැගී මුතුවාඩිය හරහා ගලා බසින  දඩුගං ඔයෙන් එගොඩටත් මෙගොඩටත් ගිය හැටිත්, තාත්තාගේ හදිසි මරණයෙන් පසු  ඒ ඔරැව තමාට උරැම වූ හැටිත්, එදා සිට තමා එම රාජකාරිය දේවකාරියට වඩා හොදින් හැමෝගෙම හිත් දිනාගෙන කරගෙන ගිය හැටිත් තොටී අයියාගේ මනසෙහි දුෂ්‍ය රෑපාකාරයෙන් මැවි මැවී පෙනෙන්නට විය.

වෙනදා කටපුරා සිනාසෙමින් සිටි තොටී අයියා සමග දොඩමළු වන හදුනන මුහුණු කිහිපයක් නොදැක්කා ගානට පා පැදිවල නැගී බොහෝම උජාරැවෙන් යන හැටි දුටු ඔහුට සිතුනේ තමාගේ හදවත හිටි තැනම නැවතුණ බවකි. ආපසු පා පැදිය හරවා ගත් තොටී අයියා කිසිවෙකුගේ මුහුණවත් නොබලා ගෙදරට ගොස් උඩුබැලි අතට ඇදේ දිගා විය.

‘‘නැගිටලා මොනව හරි කනවා. ඊයේ රෑත් අත ගාලා බත් එක එහෙමම තිබ්බා. කුස පණුවො බඩගින්නේ ඇති. මම සම්බෝලයක් එක්ක බතක් හැදුවා.‘‘

නිදිවැරීමත්, සිසිල් පරිසරයත් නිසා තද නින්දක සිටි තොටී අයියා පිබිදුනේ තම බිරිද උරහිසෙන් අල්ලා සෙලවීමෙනුත් පසුවය.  කෑමට පිරියක් නැතත් බිරිදගේ පෙරෙත්තයෙන් බේරීමට කට සෝදා බත්පත අතට ගෙන කටක් දෙකක් උගුරෙන් පහළට යවා ගත්තේ බොහෝ සේ වෙර වීරියෙනි.

‘‘තමුන්ගේ ඔරැ පැදීම නැවතුනාට කමක් නෑ. පාලම හදපු එක කොච්චර දෙයක්ද? ඔන්න ලොකු කොළුවත් රස්සා හෙවිල්ල නවත්තලා ගාර්මන්ට් පැක්ටරියකට ගාමන්ට් පැක්ටරියකට යනවා කිව්වා අපේ ඉස්සරහ කාමරේත් ලොක්කාගෙන් කොල්ලෝ කීප දෙනෙක් අහල තිබුණා. තමුසේ ගෙදර ඉන්නවා නම් මටත් ඔය ගාමන්ට් එකක මොනවා හරි කරන්න බැරියැ..........‘‘

බිරිද එසේ කියාගෙන යද්දී තොටී අයියාගේ නහර වැල් වල ප්‍රබෝධමත් ආකාරයෙන් ලේ ධාතුව දිව යන අයුරැ දැනුනෙන් ඔහුගේ මුවට හීන් හිනාවක් එකතු විය.

සමාප්තයි....

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...