Tuesday, December 27, 2016

සැගවුන නිම්නයේ අභිරහස 01 කොටස



දීර්ඝ නත්තල් නිවාඩුවෙන් පසු එළඹි පාසල් වාරයේ ප්‍රථම දිනයෙහි ලන්ඩනයේ නිව් බේලි උසස් විද්‍යාලය මහත් කලබලකාරී ස්වභාවයක් ඉසිලීය. ශාලා ආලින්දවලත් ක්‍රීඩා පිටියේත් තැන් තැන් හි කණ්ඩායම් වශයෙන් රැස් වූ ළමේ උස් හඩින් කථා බහ කරති. සිනාසෙති. එකිනෙකා නිවාඩුව ගත කළ ආකාරය විමසමින් විහිළු තහලු කරති. මාසයකට අධික කාලයක් ස්වකිය දෙමාපියන් සමග ගත කොට පැමිණි ඔවුන්ගේ රත් පැහැති මුහුණු නිරෝගි ස්වභාවයෙන් බබලයි. ඇතැම් අය බෙහෙවින් තරවී සිටිති. විඩාපත් බවක් ඔවුන් කෙරෙන් කිසි සෙයිනුත් විදාමාන නොවේ. උසස් ශ්‍රේණියකට සමත් වීමත් දීර්ඝ කාලයකට පසු යලිත් වරක් මිතුරන් දක්නට ලැබීමත් කරණ කොට ගෙන මොවුන්ගේ මුහුණු මහත් වූ ප්‍රීතියකින් පිරී ඇත.

පිටත මහා මාර්ගයේ ගමන් කරන මෝටර් රථයක් විටින් විට විද්‍යාල භූමියට ඇතුළු වී නතර වන අතර ගමන් මළු ඔසවාගෙන ඒවායින් බැසගන්නා සිසුවෝ නේවාසිකාගාරය දෙසට ඇදෙති. නොඑසේ නම් තම තමන්ගේ මිතුරන් සොයා ක්‍රීඩාපිටිය දෙසට ගමන් කරති. "අසවලා කොහෙද? අසවලා දැක්කාද?" යන පැනය දහසක් මුවින් එක් විට නැගුණේය.

"අන්න හෙන්රි එනවා" යි ගේට්ටුවෙන් විද්‍යාල භූමියට වදින මෝටර් රථයක් දෙස බලමින් කිසිවෙක් හදිසියේ කෑ ගසයි.

"නැහැ" යි තවකෙක් විරැද්ධ වෙයි. "ඕක හෙන්රිලාගේ කාරෙක නෙවේ. ඔය එන්නෙ විලියම්."

"එක මාසෙට බොබී හොදටම මහත් වෙලා" යි තමා අසල සිටි සගයාගේ උරයට ගසමින් සිසුවෙක් සිනාසෙයි.

"පුදුමයක් යැ" යි බැරෑරැම් පෙනුමක් මුහුණට නංවා ගනිමින් සගයා පිළිතුරැ දෙයි. "මම කෙට්ටු වෙලා කියල ගෙදර ගිය දවසෙ ඉදලම අම්මගෙ වැඩේ එක එක කෑම හදල මට කවන එකයි. එපා කිව්වත්, ඇති කිව්වත් අහන්නෙත් නැහැ. දැන් උස්සගන්නත් අමාරැ වන තරමටම ඇග බරයි."

ඔහුගේ කථාවත්, වේදනාවෙන් මිරිකෙමින් මෙන් එය ප්‍රකාශ කල ආකාරයත් හේතුකොටගෙන අවට සිටියෝ උස් හඩින් සිනහ නැගුවෝය.

"හලෝ මැක්" යි ගමන් මළු කිහිපයක් බරින් මැඩි නේවාසිකාගාරය වෙත ඇදෙන එකෙකු දුටු සිසුවෙක් කෑ ගෑවේය. "මට ලියුමක් එව්වෙ නැහැ, බොරැකාරයා."

"අපි නිවාඩුවට පිටරටකට ගියා" යි මැක් නමින් හදුන්වන ලද සිසුවා සමාව අයදින ස්වරයෙන් කීවේය." ඒකයි ලියුමක් වත් එවන්න බැරි වුණේ. කොහොම වුනත් ලියුම් මොකටද? අපි හමුවුණානේ."

"අපි නිවාඩුවක් ගත කරන්න කදුකරේට ගියා" යි කිසිවකු කියනු ඇසුණේය. "මගේ අම්මෝ සීතල. අනික, ඒක බොහොම ලස්සන පළාතක්"

"මම නම් කිසි දිහාක ගියේ නැහැ" යි තවකෙක් පිළිතුරැ දුන්නේය. "මට ලගින්වත් හෙලවෙන්න අම්මා ඉඩ දුන්නේ නැහැ."

උස් හඩින් කතා කරන ලමුන් දෙස මද සිනහවෙන් බලමින් විටින් විට ගුරැවරයෙක් ඔවුන පසු කොට යයි. පන්ති කාමරයේදි කිසි විටකත් සිනහවෙන් ආලෝකමත් නොවන්නා වූ දෙනෙතින් හෙබි විදුහලේ ප්‍රංශ ගුරැවරයා වන පොයිරේ මහතා කෑකෝ ගසන ළමුන් අතර ඔබ මොබ යමින් උපැස් යුවලට ඉහළින් ඔවුන් දෙස බැළුම් හෙලයි. ඔවුන්ගේ කෘශ හෝ තර වූ සිරැරැ නිරික්ෂණය කරමින් යම් විහිළුවක් කරයි. ඔහුගේ හැකිළුණු ඝන දෙබැම යට ගිලී පිහිටි නිරන්තරයෙන් අදුරැ දෙනෙත ප්‍රීතිය හගවන ආලෝකයෙන් දිලෙන බැව් ළමෝ දුටහ. 

මෙපරිද්දෙන් බොහෝ වේලාවක් ගත වන තෙක් සමස්ත පාසැල් භූමිය ප්‍රීතිමත් කෑකෝ ගෑමත් උස් සිනහ හඩත් සම්මිශ්‍රණය වූ ඝෝෂාවකින් පිරී තිබුණේය.

පීටර් ඇතුළු සිව් මිතුරන් පන්ති කාමරයේ ස්වභාවය ද ඊට බෙහෙවින් වෙනස් නෙවූයේ සියළු සිසුන් එකිනෙකා පරයන හඩින් කෑගසමින් සිටි හෙයිනි. ඔවුන් නැගූ ඝෝෂාව කොතෙක් තීව්‍ර ද යත් කිසිවෙකු පැවසූ යමක් අනිකාට පැහැදිලිව ශ්‍රවණය වූයේ නම් ඒ සැබෑ පුදුමයකි.

යථොක්ත කලබලයට මැදි වී සිටියද පීටර්ගේ දෙනෙත නිරන්තරයෙන් යොමු වූයේ පන්ති කාමරයට පිවිසෙන දොරටුව කෙරෙහිය. කිසිවෙකු එතුලින් හිස යොමන සෑම මොහොතකම අපේක්ෂිත බැලමක් පීටර්ගේ මුහුණෙහි පහළවෙයි. ඒ හා ම එය මැකී ගොස් අපේක්ෂා භංග වූ පෙනුමක් ඇදි යන්නේ අතුළුවන්නා ඔහු බලාපොරොත්තුව සිටි අය නොවන නිසයි.

"ඇයි පීටර්?" යි ඔහුගේ නොසන්සුන්තාවයට හේතු වූ කාරණා අනුමන කළ සිසුවෙක් පීටර් අසලට පැමිණ උස් හඩින් ප්‍රශ්න කළේය. " අනික් අය තවම ඇවිත් නැද්ද?"

"තව ම නැහැ" යි පීටර් පෙරළා කෑගෑවේය. "මාත් හිත හිතා හිටියේ ඒ ගොල්ලන්ගේ ප්‍රමාදෙ ගැන තමා."

ශාලා ආලින්දය එස්සේ වේගයෙන් පැමිණි දෙදෙනෙකු මේ මොහොතේ පන්ති කාමරය තුලට වැදුණෙන් පීටර්ගේ දෙනෙත ක්ෂණික දීප්තියකින් ආලෝකමත් වී ගියේ, පුළුල් සිනහවක් පාමින් වහ වහා ඔවුන් සමග එක් විය.

"හී, ඩික්, බිල්!" යි ඔහු කෑගෑවේය. "මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?"

"අපි දෙන්න ආවේ කෝච්චියේ" යි තම සගයාගේ දෑත තරයේ වැළදගනිමින් ඩික් හා බිල් පෙරළා මුරගෑහ.

''ප්‍රමාද වුණේ ඒ නිසයි. ජැක් කොහෙද?"

"තවම ඇවිත් නැහැ"

"එහෙම නම් යමු ගේට්ටුව ලගට" යි බිල් යෝජනා කළේය. "ජැක් මෙලහකටත් ලගම එනවා ඇති."

අත් වැල් බැදගෙන කාමරයෙන් පිට වූ ඔවුහු පාසල් භූමියෙන් මහා මාර්ගයට පිවිසෙන ප්‍රධාන ද්වාරය දෙසට ඇවිද ගියෝය. මෝටර් රථ කිහිපයක් ඒ වන විටත් එහි නතර කර තිබුණු අතර ඒවායින් බැසගත් සිසුවෝ ගමන් මළු ඔසවාගෙන ඉදිරියෙට පැමිණෙමින් සිටියෝය.

ඔවුන් ගේට්ටුව අසලට පැමිණ නොබෝ වේලාවකින් ම කළු පැහැති මෝටර්රථයක් පාසල් භූමියට ඇතුළු වී නතර කරන්නට ද පෙර දොරටුව හැරගෙන පිටතට පිනු කඩවසම් උස තරැණයෙක් දෑති විහිදාගෙන ඔවුන් දෙසට දිව ආවේය.

"දෙයියනේ, ජැක්" යි මිතුරන් තිදෙනා එක් හඩින් කෑගෑහ. "අදුනගන්න බැරි තරමට උස ගිහින් නොවැ."

ඔවුන් එකිනෙකා වැළදගෙන ප්‍රීතියෙක් කෑකෝ ගසන්නට වූයෙන් ගමන් මළු බාගන්නා තෙක් බොහෝ වේලාවක් බලා සිටින්නට රියදුරාට සිදුවිය. අනතුරැව ජැක්ගේ ගමන් මළු සම ව බෙදාගත් ඔවුහු යළිත් වරක් ශිෂ්‍ය නේවාසිකාගාරය දෙසට පිය නගන්නට වූවෝය. එහි පැමිණෙන තෙක්ම ඔවුන්ගේ කථා බව මොහොතකට හෝ නතර වූයේ නැත.

මතු සම්බන්ධයි

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...