සිරි මහ බෝ රජු නිතර වදින්ටයි
රන්මැලි මහ සෑයත් නමදින්ටයි
ථූපාරාමය සිහි කරගන්ටයි
අටමස්ථානය මම නමදින්ටයි
සන්සුන් සිත් අපහට ඇති වන්ටයි
කන්ළු ලෙස බුදු ගුණ පවසන්ටයි
රන්වන් රැස් සෑයෙන් විහිදෙන්ටයි
රන්මැලි සෑයේ වරැණ අසන්ටයි
කකුසද කෝණාගමන කසුප් බදු
සිහි කල මැන ඒ සම්බුදු ගුණ මුදු
පිරිණිවි සද මුනිවරැ පුන් සද බදු
යලි යුගයක් ඒවා ලොව සම්බුදු
අදුර නසන පහනක් විලසින්නේ
පවස නිවාලන ගගුලක් වැන්නේ
සද එළියක් සේ සිසිලස දෙන්නේ
සිරි ගෞතම බුදු සමිදු වඩින්නේ
දඹදිව් තලයේ හිමි වැඩ ඉන්නේ
දෙව් මිනිසුන් හට සැපත සදන්නේ
ලොව්තුරැ මගඵල දහම ඇසෙන්නේ
ගෞතම බුදු සසුනයි බබලන්නේ
බුදු කරැණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
බුදු සමිදුන් සිරිලකට වඩින්නේ
මහියංගන කැළණිය නා දිවයින
සංසුන් කොට පවසා සම්බුදු බණ
පින් කෙත ලෙස සරසා මේ දිවයින
වැඩියා ගෞතම මුනි සැනසුම දෙන
සිරිපා සමනොල සිරසෙ තබන්නේ
පිනි පා කොට සුරිදුන් නමදින්නේ
සතපා දිවමල් යහන් තනන්නේ
මුනි පා පහසින් පිරිසිදු වන්නේ
අටමස්ථානෙට සමිදු වඩිනවා
සැට අමුණක සුදු මල් වැගිරෙනවා
වට කොට දෙව් බඹ පිරිස සිටිනවා
අටමස්ථානේ ලොව බබලනවා
රන්කොත බබලනවා නිල් අහසේ
පින්වතුනේ දැක ගනු මැන සිත් සේ
රන්බද දිස්වෙයි කිරි බුබුලක් සේ
රන්මැලි සෑ නමදිමු අපි සිත් සේ
සලන සෙමර මැද දිළි මැණිකක් සේ
චලන නොවන මහමෙර මුදුනක් සේ
මිලින නොකළ හැකි රන් පියුමක් සේ
බලනු මැනවි රන්මැලි සෑ සිත් සේ
මුදුන සිටම විදුලිය දැල්වෙනවා
බුදු රැස් කැටි කළ කොඩි ලෙල දෙනවා
මුදු මද පවනේ සුවද හමනවා
බුදු සසුනක ඇති සිරිය දැනෙනවා
පුන් කළසේ ඇති නෙළුම් පිපෙනවා
රන් මල් ලෙස මල් මාල ගොතනවා
පින් වරැසාවක් ලොවට වසිනවා
රන්මැලි සෑයෙන් රැස් විහිදෙනවා
සාදු! සාදු! සාදු!

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා