Friday, September 2, 2016

ගෞතම සසුනේ පිළිසරණ ලබන්නට................ (පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)


ශ්‍රද්ධාවත්න පින්වතුනි,

අපි සියලු දෙනාම සංසාරේ අතරමං වෙලා ඉපදි ඉපදි මැරි මැරී යන අය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපේ ජීවිත දිහා බලද්දී අපි සියලු දෙනාම ඉපදි ඉපදි මැරි මැරී යන අය. කෙළවරක් නැති සසරකට උරැමකම් කියපු අය. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතය පටන් ගත්තු තැන සොයන්නට බැහැ කියලා. මේ ජීවිත පැවැත්මේ ආරම්භක කෙළවර සොයන්නට බැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතේ ආරම්භක කෙළවර සොයන්නට බැරි මේ ගමන එද්දී අපට සතර අපායේ උපදින්නට වෙනවා. අපට නිරයේ උපදින්නට වෙනවා. තිරිසන් යෝනියේ උපදින්නට වෙනවා. ප්‍රේත ලෝකයේ උපද්න්නට වෙනවා. මේ අපායේ වැටි වැටී යන්න වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසායි.

චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සත්වයා කර්මයට දාස වෙලා ඉන්නෙ. මේ සත්වයාව හසුරැවන්නෙ අවිද්‍යා සහගතව. ආර්ය සත්‍යාවබෝධයෙන් තොරව, අවිද්‍යාවෙන් යුක්තව තෘෂ්ණාවෙන් බැදිලා, අවිද්‍යාවෙන් වැහිලා, චේතනාත්මකව සිත, කය, වචනය මෙහෙයවලා කර්ම රැස් කරන නිසා.

කලින් කලට බුදුවරැ පහළ වෙනවා. බුද්ධිමත් දෙව් මිනිසුන්ට ඇත්ත පහදා දෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය. බුදුරජාණන් වහන්සේලා එකපාරට පහළ වෙන්නේ නෑ. උන්වහන්සේලා පහළ වෙන්නේ ඉතාම කළාතුරකින්.

මින් අනූ එක්වෙනි කල්පයේ විපස්සී නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඊට පස්සේ කල්ප හැටක් බුදුරජාණන් වහන්සේලා පහල වුණේ නෑ. කල්ප හැටක්ම බුද්ධ ශුන්‍යයි.

බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් ඇවිත් ඇහුවා. ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, 'කල්පය' කියලා කියන්නේ කොච්චර කාලයක්ද?'' ''භික්ෂුව, කල්පය වර්ෂ වලින් කියන්න බැහැ. මෙපමණ වර්ෂ ගණනක් , මෙපමණ සියවස් ගණනක්, මෙපමණ සියවස් ගණනක්, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක් කියලා කල්පය කියන්න බැහැ.''

''ස්වාමිනී, උපමාවක් කියන්න පුලුවන්ද?''  ''පුලුවනි, පින්වත් භික්ෂුව'' බුදු රජාණන් වහන්සේ උපමාවක් කියනවා. ඒ තමයි, සැතපුම් හතක් උස, සැතපුම් හතක් දිග, සැතපුම් හතක් පළල ගල් කුළක් තියෙනවා. මේ ගල් පර්වතය අවුරැදු සියයකට වතාවක් සිනිදු සේලයකින් පිහදනවා. කාලයාගේ ඇවෑමෙන් මේ ගල් පර්වතය පොළොව මට්ටමටම ගෙවී යනවා. පින්වත් භික්ෂුව, ඒත් කල්පය අවසන් වෙන්නේ නෑ''

අන්න එවැනි කල්ප හැටක් බුදු රජාණන් වහන්සේලා ලෝකයේ නැතුව තිබුණා. ඒකට කියන්නේ බුද්ධ ශුන්‍ය කල්ප කියලා. මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අහන්නට ලැබෙන්නේ නෑ. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, මේ ජීවිත පැවැත්ම පවතින්නේ පටිච්ච සමුප්පදාය අනුවයි කියලා සාමාන්‍ය ලෝකයාට අවබෝධ කරගන්න පිළිවෙලක් නෑ. කියාදෙන්න කෙනෙක් නෑ. සංසාරේ භයානකකම ගැන පෙන්වා දෙන්න කෙනෙක් නෑ.  සතර අපායේ වැටෙනවා කියලා පැහැදිළිව පෙන්වා දෙන්න කෙනෙක් නෑ. මේ නිසා ලෝක සත්ත්වයාට අවිද්‍යාවමයි උරැම වෙලා තියෙන්නේ.

කල්ප හැටක ඇවෑමෙන් අයෙමත් සුන්දර යුගයක් ලැබුණා. ඒ යුගයේ සිඛී, වෙස්සභූ කියලා බුදු රජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. ඒ මීට කල්ප තිහකට පෙර. ඒ සිඛී, වෙස්සභූ බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කලා. බුද්ධිමත් මනුෂ්‍යයින් ඒ ධර්මය අහල, ඒ ධර්මය අවබෝධ කරගෙන කල්පනා කළා. ඒ අවබෝධය පිණිස සිත, කය, වචනය මෙහෙයෙව්වා.ඒ බුද්ධිමත් මනුෂ්‍යයින්ට අවිද්‍යාව බිදලා, ආලෝකය උපදවා ගන්න පුළුවන් වුණා. තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න පුලුවන් වුණා. විමුක්තිය ලැබුවා.

ආයෙමත් කල්ප තිහක් බුදු රජාණන් වහන්සේලා පහළ වුනේ නෑ. කල්ප තිහකට පස්සේ අපි මේ ගත කරන කාල පරිච්ඡේදය  එනවා. මේ කල පරිච්ඡේදය තමයි මහා භද්‍ර කල්පය. මහා භද්‍ර කල්පයේ බුදු රජාණන් වහන්සේලා සතර නමක් පහළ වුණා. මේ භද්‍ර කල්පයේ පහළ වී වදාළ පළමුවැනි බුදු රජාණන් වහන්සේ කකුසස බුදු රජාණන් වහන්සේ.   උන් වහන්සේ පහළ වනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරැදු හතලිස්දාහක්. ඒ බුද්ධ ශාසනය මනුෂ්‍යයින් අතරින් ගිලිහී ගියා.

ඊට පස්සේ ආයෙමත් බුදු රජාණන් වහන්සේ නමක් පහළ වුණා.  ඒ කෝණාගමන බුදු රජාණන් වහන්සේ. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරැදු තිස් දාහයි. ඒ බුද්ධ ශාසනයත් දෙව් මිනිසුන්ගේ ලෝකයෙන් ගිලිහී ගියා. කොතරම් අනිත්‍යයිද? ඒවායේ සාධකයක්වත් සොයාගන්න නැති තරම්ම අනිත්‍ය වෙලා ගියා.

මිනිසුන්ගේ ආයුෂ අවුරැදු විසිදාහ වෙද්දි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒත් කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ  බුද්ධ ශාසනය අතුරැදහන් වුණා. අතුරැදහන් වුණා කියන්නේ නොපෙනී යනවා නෙවෙයි. ශ්‍රාවකයෝ නැතුව යනවා. ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේග් ශාසනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ඕන කියල වීරිය කරන පිරිස නැති වෙලා යනවා. ධර්මය කතා නොකර යනවා. ධර්මය කතා කරන්න බය වෙනවා. අකමැති වෙනවා එතකොට සීල, සමාධි, ප්‍රඥා වඩන පිරිස නැතුව යනවා. එතකොට ශාසනය කෙමෙන් කෙමෙන් සාමාජයෙන් සමාජයෙන් වෙන්වෙලා නැතිවෙලා යනවා. කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනයට ඒක වුණා. ඒක වෙන්නේ පින්වතුනි, සිත් වල තියෙන අවිද්‍යාව නිසයි. තෘෂ්ණාව නිසයි. අවුරැදු විසිදාහේ යුගයේදී තමයි කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පහළ වුණේ. 

මිනිසුන්ගේ ආයුෂ අවුරැදු විසිදාහෙන් අඩුවෙලා අඩුවෙලා ගිහින් දහ දාහට ඇවිත්, පන්දාහට ඇවිත්, දාහට ඇවිත්, පන්සීයට ඇවිල්ලා. අවුරැදු එකසිය විස්ස වෙද්දි ආයෙමත් අපේ වාසනාවට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් පහළ වුණා. කකුසද, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන ඒ බුදුරජාණන් වහන්සේලා සතර නම මේ භූමියේ සමාපත්ති සුවයෙන් වැඩසිටියා. අපි ජීවත් වෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ යුගයේ.

ඒ ගෞතම බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන මොහොතේ සෙවන සලසාලූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපට දැන් ඇස් දෙකෙන් දකින්නට පුලුවන්. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ අපට අපේ ඇස් දෙකෙන් දකින්නට පුලුවන්. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි ස්ථූපය වදින්නට අපි සියලු දෙනාට හැකියාව තිබෙනවා.

ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් අපේ මුතුන් මිත්තෝ, පැරණි ස්වාමීන් වහන්සේලා ජීවිතය පූජා කළා. ජීවිත පරිත්‍යාගයෙන් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කළා. මිහිදු මහරහතන් වහන්සේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය අපට ලබාදෙන කොට මේ රටේ හිටපු දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන, අනුලා බිසව ප්‍රධාන සියලු දෙනා සුවද මල් මාලයක්, මුදුන් මල්කඩක් පිළිගන්නවා වගේ ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඒ බුද්ධ ශාසනය පිලිගත්තා. ඒ ගෞතම ශාසනයේ පැවදි වුණා. රජතුමාගේ මහාමේඝ වනෝද්‍යානය ගෞතම බුද්ධ ශාසනයට පූජා කළා.

මිහිදු මහරහතන් වහන්සේ සළකුණු කළා ''මහ රජතුමනි, මෙන්න මෙතනයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කළ යුත්තේ. මෙන්න මෙතන ගෞතම බුදු රජාණන් වහන්සේගේ මහා ස්ථූපය පිහිටන්නේ. මෙන්න මෙතන මහා විහාර භූමිය. මිහිදු මහරහතන් වහන්සේ සියල්ල පෙන්නලා දුන්නා.

ඊට පස්සේ මේ ලක්බිමේ සැදැහැවත් සිංහල බෞද්ධ ජනතාව මුළු හදවතින්ම ගෞතම බුදු රජාණන් වහන්සේ සරණ ගියා. මුළු හදවතින්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගියා. මුළු හදවතින්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සරණ ගියා.

අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන පන්සීයක් රාජකීය පිරිස පැවදි වුණා. සීල, සමාධි, ප‍්‍රඥා ප්‍රගුණ කළා. මහරහතන් වහන්සේලා බවට පත්වුණා. ථූපාරාම සෑ මළුවේ විනය පිටකය සංගායනා කළා. ඒ වෙලාවෙත් මේ මහා පොළොව ගිගුරැම් දුන්නා. ස්වර්ණමාලි මහා ස්ථූපය පිහිටුවන වෙලාවෙත් මහා පොලොව ගිගුරැම් දුන්නා. 

පින්වත්නි, කාලයාගේ ඇවෑමෙන් මේ ප්‍රදේශ වලිබිහි වෙලා ගියා. වනාන්තර ගත වෙලා ගියා. ස්වර්ණමාලී මහා ස්ථූපය පස්කන්දක් වගේ පෙනිච්ච යුගයක් තිබුණා. අවුරැදු දාහක් වගේ කාලයක් පරසතුරැ ආක්‍රමණ නිසා, අවුල් වියවුල් නිසා ගෞතම බුද්ධ ශාසනය සමාජයෙන් ඈත් වෙවී ගියා. වර්තමානයේ අවුරැදු සියයක් වගේ සුළු කාලයක තමයි ආයෙමත් මේ ලෝකයේ ගෞතම ශාසනය බැබලීමක් තියෙන්නේ. එයිනුත් අවුරැදු පනහක් වගේ කාලයක තමයි ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශාසනය බබලමින් තියෙන්නේ.

ඉතිරිය පසුවට ලියමි.....

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...