Monday, November 7, 2016

වන මැද වික්‍රමය 01 කොටස

00                       02



ග්‍රීස්ම පාසල් නිවාඩුව ඇරඹී කිහිප දිනකට පසු එක්තරා පැහැබර උදෑසනක නිවසක ආලින්දයට වී පුවත්පත් කියවන ළමුන් තිදෙනෙකි. යාන්තමින් තාරුණ්‍යයට එළඹ සිටියද ඔවුන්ගේ පැහැපත් මුහුණු අතිශයින් බුද්ධිමත් බැව් දුටුවකුට ක්ෂණිකවම සිතෙයි.

මේ පත්තරයේ තියෙන ප්‍රවෘතිය දුටුවා ද? යි ඔවුන්ගේ වැඩිමලා වූ හෙන්රි කියවමින් හුන් පුවත්පත කෙරෙන් හිස මෑත් කොට තම සගයන් දෙස බැලුවේ ය.

මොකක්ද? මොකක්ද? යි හැරී කලබලෙන් විචාලේ ය.

එකත් එකටම ක්‍රීඩා ප්‍රවෘත්තියක් වෙන්ට ඕනෑ යි ඔහුගේ සොහොයුරු පීටර් මද සිනහවක් පෑවේ ය. හෙන්රි කියවන්නේ ක්‍රීඩා ප්‍රවෘත්ති පමණයි නොවැ

නැහැ. නැහැ එහෙම එකක් නොවෙයි. යි හෙන්රි බාධා කළේය. මෙතෙක්  නොදැන සිටි පුරාණ ශිෂ්ඨාචාරයක් ගැන තොරතුරු මධ්‍යම අප්‍රිකාවෙන් මතුවෙලා ලු.

ඒක වෙන්න බැහැ යි පීටර් විරුදධ වීය. ලෝකයේ පැවතුනාය කියන සෑම ශිෂ්ඨාචාරයක් ගැන ම තොරතුරු පුරාවිද්‍යාඥයෝ දැනටමත් දන්නවා නොවැ. අනික, මධ්‍යම අප්‍රිකාවේ කිසිම වැදගත් ශිෂ්ඨාචාරයක් තිබුණා ය කියලා ඉතිහාසයේ සදහනක් නැහැ.

ඒ නිසා තමයි මේක මෙතෙක් සොයා නොගත් එක්ක ය කියලා කියන්නේ යි හෙන්රි පැහැදිළි කළේ ය. තවමත් පුරාවිද්‍යාඥ්ඥයින් වැඩිදෙනෙක් මේක විශ්වාස කරන්නේ  නැහැ.

ඔය ගැන තොරතුරු ලැබුණේ කොහොමද?

පත්තරේ තියෙන හැටියට නම් මාසගාණක් කැළයේ අතරමං වුණු දඩයක්කාරයෙක් අහම්බෙන් වාගේ ඔය ප්‍රදේශයට ඇතුල් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට ඇහෙන්නට මම මේ ප්‍රවෘත්තිය කියවන්ටද?
ඔව් කියවන්ට, කියවන්ට. යි සෙස්සෝ අයැදියහ.

එහි මෙසේ සදහන්ව තිබුණේය.

"අභිරහස් පැරණි ශිෂ්ඨාචාරයක් පිළිබදව තොරතුරැ අප්‍රිකාවෙන් මතුවෙයි.
පුරාවිද්‍යඥ්ඥයින් හා ඉතිහාසඥයින් විමතියට පත්කරවමින් ඉපැරණි දියුණු ශිෂ්ඨාචාරයක් පිළිබදව මධ්‍යම අප්‍රිකාවෙන් වාර්ථාවෙයි.

දැනගැනීමට ඇති අයුරු ඒ සම්බන්ධ තොරතුරු සැකෙවින් මෙසේය

දඩයම් පිණිස මධ්‍යම අප්‍රිකානු වනාන්තරයට පිවිසි දඩයක්කරුවෙක් මංමුලා වී මෙතෙක් කිසිවෙකු විසින් ගවේෂණය නොකළ වන පෙදෙසකට ඇතුලු වී ඇත. නිරාහාරව එහි ඔබ මොබ හැසිරෙන ඔහු  ඝන වන පියසින් ආවරණය වූ ද , ගරාවැටුණු ගොඩනැගිලි රාශියකින් සමන්විත වූ ද භූමියකට හදිසියේ පැමිණියේ ය. ගොඩනැගිලි පිහිටි ආකාරය නූතන නගරයකට සමාන ය යි ද ඒ අතර විහිදුනු මං මාවත් ගල් අතුරා නිමවා ඇතැයි ද කියවේ. නගරය වනාන්තරය විසින් යටපත් කොටගෙන තිබුනු මුත් ඝනව පැවතුණු වන පියස හේතුකොටගෙන මුලුමනින් ඇද නොවැටුණු ගොඩනැගිලි අව් වැසි ආදියෙන් ආරක්ෂා වී ඇත. මහත් කුතුහලයෙන් යුතුව අඩක් ශේෂ වූ ගොඩනැගිල්ලකට පිවිසි දඩයක් කරු එහි දිරාපත් මිනිස් ඇටසැකිලි රාශියක් දැකීමෙන් භීතියට පත්ව තිබෙ යි. එසේ හෙයින් තවත් ඒ පිළිබදව නොවිමසා පලාගිය ඔහු මීට දින කිහිපයකට පෙර වනයේ හැසිරුණු පිරිසක් විසින් සොයාගන්නා ලදි. රෝගාතුරව පසුවූයෙන් වහා රෝහල් ගත කල ද ප්‍රකෘති සිහි නොලබාම ඔහු මිය ගියේ ය. ශිෂ්ඨාචාරය පිළිබද තොරතුරු නිරාවරණය වූයේ ඔහු විසින් අසිහියෙන් පැවසූ වදන් එක් කොට අනුමාණ වශයෙන් නිගමනයකට එළඹීමෙනි.

මිය යන අවස්ථාවේ දඩයක්කරු පසු වූ තත්වය සැලකීමේ දී ශිෂ්ඨාචාරය පිළිබද පුවත මුසාවකැ යි ඇතැම් පුරාවිද්‍යාඥඥයෝ හාස්‍යයෙන් යුතුව බැහැර කරති. දීර්ඝ කාළයක් නිරාහාරව ද රෝගාතුරව ද වනයේ හැසිරීමෙන් හටගත් දෘෂ්ඨි මායාවක් කරණකොටගෙන ඔහු මෙවැන්නක් දකින්නට ඇත. නොඑසේනම් මනසේ රැදුණු කිසියම් සිතුවිල්ලක් පදනම් කොට කල දෙඩවිල්ලක් විය හැකැ යි ඔවුහු තරක කරති. අසිහියෙන් පසුවූ දඩයක්කරු සොයාගන්නා ලද ප්‍රදේශයත්   නටඹුන් නගරය පිහිටියේ යැයි පවසන ලද දිශාවත් ගුවනින් පිරික්සන ලද නමුදු  එවැන්නක් පිළිබද සලකුණක් හෝ දැකගත නොහැකි වී ය.  

අර පුරාවිද්‍යඥ්ඥයන්ගේ මතයට මම එකගයි. යි පුවත කියවා අවසන් කළ ඉක්බිති පීටර් කීවේ ය. ඕක නිරාහාරව සිටි දඩයක්කාරයාගේ හිතේ ඇතිවුණු මායාවක් වෙන්ට ඕනෑ

සමහරවිට වෙන්ට පුලුවනි යි හෙන්රි එකග විය. නමුත් ඕකේ යම්කිසි හරයක් ඇති බව මගේ යටිහිත කියනවා

පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් අපට තවත් ඔයගැන විස්තර දැනගන්න පුලුවන් හැරී දැන්වීය.

දැන් යමු

වහා හැද පැලදගත් ඔවුහු අගනුවර පිහිටා ඇති පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ ප්‍රධාන කාර්යාලය කරා තවත් නොබෝ වේලාවකින් පැමිණියෝ ය. පුරාවිද්‍යා සංගමයේ යාව ජීව සාමාජිකයින් වූ ඔවුන්ට එහි ඇතුලු වීම කිසි සෙයිනුත් අපහසු වූයේ නැත.

18 වන සියවසේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබිඹු කරන්නාවූ එය තෙමහලින් යුතු පුලුල් ගොඩනැගිල්ලකි. නිතර දැක පුරුදු ඇතත් මහල් ඔසවා සිටි දැවැන්ත කුළුණු ළමුන් තුල ඇතිකලේ තැතිගැන්මක් මිශ්‍රිත විස්මයකි. කාර්ය්‍ය බහුල ස්ථානයක් නොවූයෙන් ජනයාගෙන් සිස්ව පැවති පිටත බරාදය ඔස්සේ ඔවුන් ගමන් කරන්නට වූහ. උස් වූ වහලෙහි වවුලන් නිහිප දෙනෙකු එල්ලී සිටිනු ඔවුන්ට පෙනුනේ ය. ඔවුන්ගේ පා ගැටෙන හඩ පාලු ආලින්දයෙහි පහත් හඩින් දෝන්කාර දුනි.

වහලය තෙක් උස්ව බැදි ඉනිමගක සිට කිසියම් අලුත්වැඩියාවක නිරත වූ කම්කරුවන් කිහිප දෙනෙකු පසුකල ඔවුහු පුලුල් ආරුක්කුවක් තැලින් විහිදුනු හිණි පෙළක් නැග පළමු ආලින්දයට පිලිපන්නෝ ය. ඉක්බිති එහි එක් එන්තයක පිහිටි පුරාවිද්‍යාඥ  ඒ.සී ග්‍රිෆිත් යනුවෙන් නම් සදහන් පුවරුවක් සවිකල දොරටුවෙන් යුතු කුඩා කුටියක් දෙසට ගමන් කරන්නට වූහ.

ඇතුලට එන්න යැයි ඔවුන්ගේ හඩගෑමට පිළිතුරු වශයෙන් කිසිවෙකු පවසනු ඇසුනේ ය. ඔවුහු අගුල් නොදැමූ දොරටුව විවර කරමින් කුටියට ඇතුලු වූවෝ ය.

හා! මේ අපේ  පුංචි විද්‍යාඥයෝ නොවැ යි බිත්තියට යාව තබන ලද මේසයක් අසල හිද සිටි මහළු මිනිසෙක් ඔවුන් දෙස මද සිනහවක් පෑවේ ය. ඇවිදින් ඉදගන්ට

මහල්ලාට ගෞරව සම්ප්‍රයුක්තව ආචාර කළ ළමෝ මේසය අබියස අසුන් ගත්තෝ ය.


ඉතින් මොනවද අලුත් ආරංචි යි පුරාවිද්‍යාඥයා ඔවුන්ගේ මුහුණු එකිනෙක පිරික්සමින් විචාලේ ය.  දැන් ග්‍රීස්ම නිවාඩුව ලැබිල ඇති නොවැ . කිසි ගවේශණයක් කරන්ට පටන් ගන්නේ නැද්ද? 

මතුසම්බන්ධයි....

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...