දින හතරකට පහකට පමණ පසුව වර්ජිනියා සහ සිසිල් වත්තේ පසු වූයේ බලවත් ප්රීතියෙනි. හදිසියේම වර්ජිනියා බිම ඇද වැටුණු අතර ඇගේ ඇදුම් කිලිටි විය. ඕ ආපසු වහ වහා නිවෙසට පැමිණියාය. වර්ජිනියා සිය කාමරයට ගියේ වඩා පිරිසිදු ඇදුමක් සොයාගැනීම සදහාය. පුස්තකාල කාමරය පසුකර යත්ම යම්කිසිවෙකු එහි වාඩිවී සිටිනු වර්ජිනියා දුටුවාය. ඒ කවරෙක්දැයි සැක කළ වර්ජිනියා ඒ පිලිබද සොයා බැලීම සදහා කාමරය තුලට ගියාය. පුදුමයකි! ඒ සිටින්නේ වෙන කිසිවෙකු නොව කැන්ටර්විල් භූතයා බවත් ඇයට දක්නට ලැබිණි. ඇය ඔහු පිලිබද කිසිදු තැකිමක් නොකොට ජනේලයෙන් එබිකම් කර වත්ත දෙස බැලීය. මේ වන විට භූතයා පසු වූයේ සිය දෑතම මුහුණ මත හොවාගෙන වත්ත දෙස බලමිනි. වහා දිව යා යුතු යැයි වර්ජිනියා ප්රතමයෙන් තීරණය කළාය. එහෙත් ඈ තුල තරමක කාරැණික භාවයක්ද ඇති විය. භූතයා පසුවන්නේ ඉතා කණස්සල්ලෙන් බව ඇයට පෙනුනි. ඒ දුටු ඇගේ ලය තෙත්විය. ඇයට එකවරම ඔහු අසලට ගොස් උදව් කිරීමට අවශ්‍ය විය. ඈ සෙමින් සෙමින් ඔහු දෙසට ගමන් කළාය. එහෙත් ඈ තමන් දෙසට එන බවත් භූතයා දුටුවේ නැත. මේ අතර වර්ජිනියා කථා කරන්නට වූවාය.
‘‘භූත මහත්මයා, මට ඔබ ගැන ඉතාමත්ම කණගාටුයි‘‘ ඈ කියන්නට වූවාය. ‘‘නමුත් ඒ තරම් ගණනකට ගන්න එපා. මගේ බාල සහෝදරයන් දෙදෙනා හෙට නැවතත් පාසැල් යනවා. ඒ නිසා ඔබට හිතූ හැටියට මේ මන්දිරයට වෙලා ඉන්න පුලුවනි. ඔබට කෝපයට පත්වෙන්නටවත් ශෝක වෙන්නටවත් අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ‘‘.
‘‘මට නම් හොදින් ඉන්න පුලුවන් කමක් නැහැ‘‘ පිළිතුරැ දුන් භූතයා වටපිට බැලුවේ තමාට කථා කලේ කවරෙක්දැයි බලමිනි. ඔහුගේ පුදුමයට මෙන් වර්ජිනියා සිය රෑමත් මුහුණ ප්රදර්ශනය කරමින් ඔහු අසල ඉදගෙන සිටියේය. භූතයා කථා කරන්නට විය.
‘‘මම මගේ දම්වැල් ශබ්ද නගමින් මේ නිවස පුරාම මහ රෑ ඇවිදිය යුතුයි. මා මෙහි ඉන්නේ ඒකටයි. ඒක මා සතු රාජකාරියයි.‘‘
‘‘නැහැ ඔබ වැරදියි. ඔබ හරිම නරකයි. ඒ නිසාම තමයි ඔබ මෙතනට වෙලා ඉන්නේ. උම්නි මහත්මිය අපි මෙහෙට පැමිණි දවසෙම අපිට ඒ බව කිව්වා. ඔබ ඔබගේ බිරිදව මැරැවා නේද?‘‘
‘‘ඔව් ඒක ඇත්ත තමයි. මම ඇයව මැරැවා.‘‘ භූතයා පිළිතුරැ දුන්නේය.
‘‘ඒක ඉතාමත් නරක ක්රියාවතක්‘‘. වර්ජිනියා මෙවර පැවසුවේ බලවත් නොමනාපයෙනි.
‘‘නමුත් මගෙ බිරිද හොද ගැහැණියෙක් නෙවෙයි. ඈ මගේ ඇදුම් හොදින් සේදුවේ නෑ. ඒවගේම ඇයට හොදින් ආහාර පිසින්නත් බැහැ. ඇයව මැරැව එක මගේ වැරැද්දක් බව මම දන්නවා. නමුත් බලන්න ඇගේ සහෝදරයින් මාව මැරැව එක කොයිතරම් වැරදිද කියලා. ඔවුන් එකතු වෙලා මාව කාමරයක දමා වැහුවා. ඔවුන් මට ආහාර පොඩ්ඩක්වත් දුන්නේ නැහැ. ඒ නිසා ඉක්මනටම මාව මැරිලා ගියා.‘‘
‘‘මොනවා කෑම නැහැ!. අනේ භූත මහත්මයා මට නම් හරිම කණගාටුයි. ශ්‍රීමත් සයිමන් ඇත්තෙන් ම ඔබ බඩගින්නෙන්ද? මගේ බෑග් එකේ පළතුරැ වගයක් තියෙනවා. උවමනා නම් මට පුලුවනි ඔබට ඒවා ගෙනත් දෙන්න.‘‘
නැහැ ඔබට ස්තූතිය. මම දැන් කිසිම දෙයක් කන්නේ නැහැ. කෝක වුණත් මම ඔබට ස්තූති වන්ත වෙනවා. ඔබ නම් ඔබේ පවුලේ අනික් අය වගේ නෙවෙයි. ඒ ගොල්ල වගේ නපුරැ නැහැ. මට පේන්න බැරි අර නිවුන්නු දෙන්නා තමයි.‘‘
‘‘නවතින්න! වර්ජිනියා කෝපයෙන් කියන්නට විය.‘‘ඔවුන් දෙදෙනාට වඩා නරක ඔබයි. ඔබ මගේ පාට සායම් පෙට්ටියෙන් සායම් හොරකම් කරනවා. එහෙම හොරකම් කරගෙන නැවත නැවතත් පුස්තකාල කාමරයේ ලේ පැල්ලමක් අදිනවා. පළමුවෙන්ම ඔබ කලේ රතු පාට සායම් සියල්ලම ගැනීමයි. එයින් පසුව ඔබ කහ පැහැති සායම් ටිකත් අවසන් කලා. එයිනුත් පසුව කොළ පාට. මම මේ ගැන කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. නමුත් මතක තබා ගන්න මම නම් හිටියෙ කෝපයෙන්. කොල පාට ලේ. කොළ පාට!.‘‘
‘‘ඔව්, කාරණය ඇත්ත තමයි.‘‘ භූතයා වැරදිකාර හැගීමෙන් යුතුව කියන්නට විය. ‘‘නමුත් මේ දවස්වල ලේ හොයා ගැනීම හරිම අපහසු වැඩක්. ඒ වුණත් ඔබගේ සහෝදරයා වන වොෂිංටන් අර මොකක්දෝ පොලිෂ් වර්ගයකින් ඒ හැම ලේ පැල්ලමක්ම නැති කරනවා. අනෙක් අතට කොළ පැහැයෙ ඇති වරද මොකක්ද? සමහර විට ඇමරිකන් ජාතිකයො කොළ පැහැයට කැමති නැතුවම ඇති.‘‘
මතු සම්බන්දයි........






